ශ්‍රී ලංකා හමුදාවේ කාර්යභාරය අගය කළ යුතුයි



‘කොවිඩ්-19’ කළමනාකරණයේ දී ශ්‍රී ලංකා යුද හමුදාව කළ කාර්යභාරය නිල වශයෙන් අගය කළ යුතු යැයි ඉන්දීය යුද හමුදා මාණ්ඩලීක ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවනේ මහතා ඊයේ (13) පැවැසීය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනාවකට අනුව ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවනේ මහතා සිවු දින නිල සංචාරයක් සඳහා පෙරේදා (12) මෙරටට පැමිණියේ ය.

ඉන්දීය යුද හමුදා මාණ්ඩලීක ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවනේ මහතා, පැලවත්ත අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ ඊයේ (13) සංචාරයක නිරත විය.

එහිදි සම්ප්‍රදායනුකූල වර්ණවත් කඳවුරු සම්මාන සහ සම්මාන ආචාර මුරයක් ඉන්දීය යුද හමුදා මාණ්ඩාලික ප්‍රධානියා වෙත පිරිනැමිණි.

ඉන් අනතුරුව යුද හමුදාපති කාර්යාලයේ දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවනේ මහත්වරුන් අතර සාකච්ඡා පැවැත්වුණු අතර සාකච්ඡාවලින් අනතුරුව සමරු හුවමාරු කරගැනීමක් ද සිදුවිය.

එයින් අනතුරුව ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවනේ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරන ලදි.

එහිදි අදහස් දැක්වූ ජෙනරාල් නාරාවනේ මහතා මෙසේ ද කීය.

“ඔබේ උදාර රටට පැමිණීමට ලැබීම ඉමහත් සතුටක් ගෙන දෙන්නක්. මටත් මා සමඟ පැමිණි දූත පිරිසටත් ලබාදුන් සුවිශේෂී පිළිගැනීමටත් සත්කාරයටත් ශ්‍රී ලංකාවේ රජයට ශ්‍රී ලංකාවේ ජනතාවට මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාටත් මා කෘතඥ වෙනවා. මම මෙම ධුරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය යි. කනිෂ්ඨ නිලධාරියකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය සාම සාධක හමුදා සමඟ මම මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණියා.

මා කනිෂ්ඨ නිලධාරියකු සිටි සමයේ සිට මේ දක්වා ගෙවුණු කාලයේ දී දෙරටේ හමුදා අතර සම්බන්ධතා සහ සහයෝගීතාව ශක්තිමත් වන අයුරු මා දැක තිබෙනවා. මගේ මෙම සංචාරය අතරවාරයේ දී දෙරටේ හමුදා අතර මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද හමුදා අභ්‍යාසය ද සිදු වෙනවා. අප දෙරට අතර සිදුවන විශාලතම ඒකාබද්ධ යුද හමුදා අභ්‍යාසය වන්නේ එය යි.

මාත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාත් මෙම යුද අභ්‍යාසයේ අවසන් අදියර නිරීක්ෂණය කිරීමට නියමිතව තිබෙනවා. මෙම යුද අභ්‍යාසය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ වනවිට වර්ධනය වෙමින් තිබෙන ආරක්ෂක සහයෝගීතාවයේ ප්‍රධාන අංගයක්.

පරිණත ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙකක් ලෙස තේරී පත්වූ නායකයන් අතර ගුණාත්මකභාවයෙන් ඉහළ අන්තර් සහ අන්‍යෝන්‍ය ක්‍රියා පැවැත්වීම ඉතා වැදගත්. එසේ තේරීපත්වූ නායකයන් අතර සාකච්ඡා පැවැත්වෙද්දි දෙරටේ හමුදා අතර ද ඒ ආකාරයේ අන්තර් සහ අන්‍යෝන්‍ය ක්‍රියා පැවැත්වීම මඟින් සහයෝගීතාව තහවුරු කරනවා.

ශ්‍රී ලංකා හමුදාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් කිහිප අවස්ථාවකදීම ඉන්දියාවේ සංචාරය කරමින් සාකච්ඡා පවත්වා තිබෙනවා. අපේ හමුදා අධ්‍යාපන සහ පුහුණු ආයතන හා පාසල්වල ශ්‍රී ලංකා හමුදාවේ නිලධාරීන්, සෙබළුන් මෙන්ම කැඩෙට් නිලධාරීන්ට පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීමට ලැබීම අප ලද භාග්‍යයක්.

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාත් ඉන්දියාවේ නවදිල්ලි නුවර ජාතික ආරක්ෂක විද්‍යාලයේ කීර්තිමත් ආදිවිද්‍යාර්ථියෙක්. ඔහු ඒ මතක තවමත් රැගෙන එනවාට සැක නැහැ.

‘කොවිඩ්-19’ වසංගතය මධ්‍යයේ වුවද දෙරටේ හමුදා අතර සහ සම්බන්ධය අඛණ්ඩව පවත්වාගෙන යෑමට අප කටයුතු කළා.

එහිදි අපි ‘කොවිඩ්-19’ පාලනයේ දී අනුගමනය කළ යහ පිළිවෙත් හුවමාරු කරගත්තා. ඒ වගේම කොවිඩ්-19 පාලනයේ දී ශ්‍රී ලංකා යුද හමුදාව විදහා දැක්වූ හැකියාව අගය කළ යුතු යි.

‘කොවිඩ්-19’ කළමනාකරණයේ දී ශ්‍රී ලංකා හමුදාවේ කාර්යභාරය වශයෙන් අප මෙහිදි නිල වශයෙන් අගය කිරීමට ලක් කරනවා. ඒ වගේම ‘කොවිඩ්-19’ පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කළ කාර්යභාරය ද අගය කළ යුතු යි.

ඉදිරි දින හතරේ දී ශ්‍රී ලංකාවේ සිවිල් සහ මිලිටරි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වී මම සාකච්ඡා පවත්වනවා. ඒ වගේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟද මා සාකච්ඡා පැවැත්වීමට සූදානම් වෙනවා.”

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එහිදි මෙසේ පැවැසීය.

“ඉන්දීය යුද හමුදාපතිවරයා ඊයේ මෙරටට පැමිණියා. ඉන් අනතුරුව යුද හමුදා මූලස්ථානයට කැඳවා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමක් සිදු කළා. ඉන් අනතුරුව දෙරටේ හමුදා අතර පවතින සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සාකච්ඡා පැවැත්වූවා.

ඉන්දියාව ඉතිහාසය මුළුල්ලේ ශ්‍රී ලංකා යුද හමුදා ඇතුළුව හමුදාවලට විශාල වශයෙන් සහාය දක්වා තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලවල සිටින නිලධාරීන් විශාල පිරිසක් ඉන්දියාවේ ආරක්ෂක පුහුණු පාසල්වල පුහුණුව ලබනවා. ඒ  වගේම ඉන්දියාවේ නිලධාරීන් ද ශ්‍රී ලංකාවට පැමිණි පුහුණු පාඨමාලා සහ යුද අභ්‍යාසවලට සහභාගී වෙනවා.

ඉන්දීය යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළ පරිදි ශ්‍රී ලංකා සහ ඉන්දීය යුද හමුදා අතර පැවැත්වෙන මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය මේ දිනවල අම්පාර සහ මාදුරු ඔය ආශ්‍රිතව පැවැත්වෙනවා.”

ඉන්දීය යුද හමුදා මාණ්ඩලීක ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවනේ මහතා ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරුන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබිණි.

මෙම සංචාරය අතරතුර දී අනුරාධපුරයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් ශ්‍රී මහා බෝධිය ඇතුළු තවත් ආගමික ස්ථාන කිහිපයක් වැඳ පුදා ගැනීමට ද නියමිත ව ඇත.

ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී නාරාවනේ මහතාගේ නිල සංචාරයේදී සාලියපුරා පිහිටි ගජබා රෙජිමේන්තුවේ 38 වැනි සංවත්සරය සඳහා සහභාගී වීමට නියමිත ය.

(හර්ෂණ තුෂාර සිල්වා)


RECOMMEND POSTS