වියට්නාමයෙන් වෛද්‍ය උපකරණ



කොරෝනා වසංගතය මැඩලීම සදහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීම වෙනුවෙන්  වියට්නාමය රජ විසින්  ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 30, 000 (රුපියල් මිලියන 5 කට වැඩි) වටිනා වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.

වියට්නාමයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගුවෙන් ක්වොක් ඩොංග් විසින් වියට්නාමයේ ශ්‍රී ලංකාවේ තානාපති ප්‍රසන්න ගමගේ මහතා වෙත අදාළ පරිත්‍යාග හැනොයි නුවර පිහිටි එරට හි විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සංකේතාත්මකව භාර දී ඇතැයි ද එම අමාත්‍යාංශය කියා සීටී.

වියට්නාම විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඩොංග් විසින් මෙම පරිත්‍යාගය ලබා දෙමින් කියා සිටියේ දෙරට අතර දුෂ්කරතා පැවති කාලවලදී පැවති දීර්ඝ කාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගය වෙනුවෙන් මෙමන් වෛද්‍ය උපකරණ තොගය පිරිනමන බවය.එසේම වසංගතයට එරෙහිව කටයුතු කිරීමේදී ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත්කම නැවත විමර්ශනය කෙරෙන අවස්ථාවක් යැයිද වියට්නාම නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා කියා සිටියේය.

වියට්නාමයේ ශ්‍රී ලංකා  තානාපති ප්‍රසන්න ගමගේ මහතා මෙහිදී කරුණු දක්වමින් කියා සිටියේ  වියට්නාම රජය විසින් නොමසුරුව පරිත්‍යාග කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ අවංක ස්තූතිය හා කෘතඥතාව පළ කළේය.

කොරෝනා වසංගත මැඩලීමේදී  වියට්නාමයේ එය පැතිරීයාම පාලනය කිරීමට වෙනුවෙන් ගත් විශිෂ්ට කැපකිරීම මෙන්ම, අවශ්‍යතා ඇති වෙනත් රටවල් ගණනාවකට වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීමේ දී වියට්නාම රජය ඛල මෙහෙවර පැසසුමට ලක් කළේය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS