සෞඛ්‍ය ඇමැතිගේ අනියම් ආදරේ



බ්‍රිතාන්‍යය 'කොවිඩ් 19' වසංගතයෙන් බැටකන යුරෝපා රාජ්‍යයකි. එන්නත්කරණ කටයුතු වේගයෙන් සිදුවුවත්, වයිරස ව්‍යාප්තිය අපේක්ෂා කරන ආකාරයට අඩුවක් දකින්න නොලැබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එහෙයින් සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක වෙයි. මුහුණු ආවරණයත්, පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමත් අනිවාර්ය යැයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇත. සෞඛ්‍ය අංශ ලබා දෙන එම මාර්ගෝපදේශ මාධ්‍ය හමුවක් හරහා ජනතාවට දැනුම් දෙන්නේ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් එසේත් නැතිනම් සෞඛ්‍ය ඇමැතිවරයාය.

පුද්ගල දුරස්ථභාවය අනිවාර්යය යැයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් කිසිදු තැනීමක් නොකර, හැඟීම්වලට වහල් වී, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් සෞඛ්‍ය අමත්‍යාංශයේ එකට වැඩ කරන නිලධාරිනියක සිපගත්තේය. රහසේ කළ එම සිප වැලඳ ගැනීම, මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වෙද්දී, සෞඛ්‍ය ලේකම්වරයාට කටඋත්තර නැතිවිය. ඔහු වහාම ධුරයෙන් ඉවත් විය.

42 හැවිරිදි මැට් හැන්කොක්, රජකාරි වේලාවේ, සිප වැලඳ ගත්තේ, සෞඛ්‍ය අමත්‍යාංශයේ විධායක නොවන උපදේශිකාවක ලෙස ද රාජකාරි කරන ජීනා කොලඩැන්ගෙලෝ ය. මැට් සහ ජීනා වසර ගණනාවක් තිස්සේ මිතුරන් බව පැවැසෙයි. ඔවුන්ගේ පවුල්වල අය අතරේ ද ඇත්තේ සමීප හිතවත්කමකි.  පසුගිය මැයි 6 වැනිදා, මැට් සහ ජීනා සෞඛ්‍ය අමත්‍යාංශය තුළ සිප වැලඳ ගන්නා අයුරු දැක්වෙන වීඩියෝ දසුන් සහ ඡායාරූප බ්‍රිතාන්‍ය වැසියන්ට අනාවරණය කළේ එරට 'ද සන්' මාධ්‍ය ජාලයයි. 'ද සන්' යනු බ්‍රිතාන්‍යයේ අංක එකේ ඕපාදූප පුවත් සඟරාවකි. වෙබ් අඩවියකි. 'සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගන්නැයි සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දෙද්දී, සෞඛ්‍ය ලේකම්වරයා සෞඛ්‍ය අමත්‍යාංශයේ උපදේශිකාව සිපගන්නවා' යන සිරස්තල යටතේ මැට් හැන්කොක් ට චෝදනා එල්ල වීමට පටන් ගත්තේ, ඔහු ජීනා සිප ගන්නා අයුරු දැක්වෙන ආරක්ෂක කැමරා දසුන් දිගින් දිගටම ප්‍රසිද්ධියට පත් කරමිනි.

අප්‍රසාදය ගොඩ නැගෙද්දී, 'මා කළේ වරදක්. කොරෝනා වසංගතය හේතුවෙන් රටේ ජනතාව බොහෝ කැප කිරීම් කරද්දී, මා මගේ පුද්ගලික හැඟීම්වලට වහල්වීම වරදක් බව මට තේරෙනවා.' යැයි සිය ඉල්ලා අස්වීමේ ලිපිය, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට යොමු කරමින් මැට් හැන්කොක් පැහැදිලි කළේය.  හැන්කෝක්ගේ ඉල්ලා අස්වීම බාර ගනිමින්, අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවැසුවේ, මැට් හැන්කොක් සෞඛ්‍ය ලේකම් ධුරයෙන් ඉවත් වීමට ගත් තීරණය කනගාටුවට කරුණක් බවය. මැට් හැන්කොක් ඉවත් වීමත් සමඟ නව සෞඛ්‍ය ලේකම්වරයා ලෙස සජීද් ජාවිද් පත් කෙරුණි.

මැට් හැන්කොක් සෞඛ්‍ය ලේකම් ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ අවස්ථාවේදී තමන් ද සෞඛ්‍ය අමත්‍යාංශයේ රාජකාරිවලින් ඉවත් වන බව 43 හැවිරිදි ජීනා කොලඩැන්ගෙලෝ මාධ්‍ය හමුවේ පැවැසුවාය. ජීනා කෝටිපති ව්‍යාපාරික කාන්තාවකි. බ්‍රිතාන්‍යයේ පමණක් නොව යුරෝපා රටවලත් අතිශය ජනප්‍රිය ඔන්ලයින් රෙදිපිලි අලෙවි කරන සමාගමක් වන 'ඔලිවර් බොනාස්' සමාගම ආරම්භ කළ ඔලිවර් ට්‍රෙස්ගේ බිරිඳ වන්නේ ජීනා ය. ජීනා, 'ඔලිවර් බොනාස්' සමාගමේ සන්නිවේදන කටයුතු ප්‍රධානියා ලෙස ද කටයුතු කරන අතර, ඇය එම සමාගමේ කොටස්කාරියකි. ඊට අමතරව, ජීනා බ්‍රිතාන්‍ය රාජ්‍ය අමත්‍යාංශ සඳහා පෞද්ගලික අංශයේ සේවාදායකයන් සම්බන්ධ කරන 'ලූතර් පෙන්ඩ්‍රැගන්' සමාගමේ ද කොටස්කාරියක වන්නීය. ජීනා සෞඛ්‍ය අමත්‍යාංශයේ විධායක නොවන උපදේශිකාවක ලෙස පත් කළේ ද මැට් හැන්කොක් ය. ඒ, පසුගිය වසරේ මාර්තු මාසයේදීය. වසර ගණනාවක් තිස්සේ යහළුවන් වූ මැට් සහ ජීනා රහස් පෙම්වතුන් බවට පත් වූයේ ඉන්පසුව යැයි 'ද සන්' වෙබ් අඩවිය පෙන්වා දෙයි.

මැට් හැන්කොක්ගේ බිරිඳ මාර්තා ය. දෙදෙනා විවාහ වී වසර 15 කි. මැට් සහ මාර්තා දෙදෙනා එකිනෙකා දැන හඳුනා ගනිමින් ආදරය කිරීමට පටන්ගෙන ඇත්තේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරද්දීය. මැට් ට ජීනා හමුවූයේ ද වි ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේදීය. ජීනා එහි අධ්‍යාපනය හදාරා ඇති අතර, මැට්, ජීනා, සහ මාර්තා අතරේ ඇති වුණු මිත්‍රත්වය මේ දක්වා පැවැතිණි. මැට් සහ ජීනා සමීපව සිටිද්දීත්, දෙදෙනා එකට රාජකාරි කටයුතුවල නියැලෙමින් ඡායාරූපවලට පෙනී සිටිද්දී සහ සමාජ මාධ්‍යවලින් ඔවුන් ගැන කසුකුසුවක් ඇති වෙද්දී, මාර්තා කාටත් කීවේ 'එයාලා හොඳ යාළුවෝ' කියාය. මැට් සහ ජීනා අතරේ රහස් ප්‍රේම සම්බන්ධයෙන් ඇති බව තමන් කිසිසේත් විශ්වාස නොකළ බවත්, තමන් එය දැනගත්තේ ද 'සන්' පුවත්පත එය අනාවරණය කළ අවස්ථාවේදී බවත් මාර්තා පසුව පවසා තිබුණි.

වසර 15 ක විවාහය අවසන් කිරීමට තීරණය කළේ යැයි මැට් තම බිරිඳ මාර්තා ට පවසා ඇත්තේ මීට මාස කීපයකට පෙරය. ඒ බව බීබීසී පුවත් සේවය සනාථ කර තිබේ. මැට් හැන්කොක් දරුවන් තිදෙනකුගේ පියකු වන අතර ජීනා කොලඩැන්ගෙලෝ දරුවන් තිදෙනකුගේ මවකි. බ්‍රිතනාන්‍ය සෞඛ්‍ය අමත්‍යාංශයේ රාජකාරිවලින් ඉවත් වීමෙන් පසු, ජීනා ඇගේ නිවසට ගොස් බඩු මුට්ටු අසුරා ගනිමින් නිවසින් ද පිටව ගිය බව 'ද සන්' වෙබ් අඩවිය වාර්තා කළේ ඡායාරූප පෙළක් ද පළ කරමිනි. එම අවස්ථාවේ ඇගේ සැමියා ඔලිවර් ට්‍රෙස් ද ඇගේ බඩු මුට්ටු මෝටර් රථයට පැටවීමට උදව් කළ බව දැක්වෙන ඡායාරූප 'ද සන්' වෙබ් අඩවිය ප්‍රසිද්ධියට පත් කළේය. මේ අතර, මැට් හැන්කොක්ගේ සමීපතම මිතුරකු පවසා ඇත්තේ මැට්, මුළු හදවතින්ම ජීනා ට ආදරය කිරීමට පටන්ගෙන ඇති බවත්, දෙදෙනා වෙනම පදිංචියට යෑමට සූදානමින් සිටින බවත්ය.

'ද සන්' ඇසුරිනි


RECOMMEND POSTS