වෙඩි වැදී මියගිය රොයිටර් මාධ්‍යවේදියා



ඇෆ්ගනිස්තානයේ යුද ගැටුම් වාර්තා කරමින් සිටියදී රොයිටර්ස් පුවත් සේවයේ ඡායාරූප මාධ්‍යවේදී දනීෂ් සිද්දිකි පසුගිය සිකුරාදා මරණයට පත්විය.

ස්වයං අධ්‍යයනයේ යෙදෙමින් ඡායාරූපවේදියකු බවට පත්වූ දනීෂ් දනීෂ් සිද්දිකි වෘත්තීය ක්ෂේත්‍රයේ හිණි පෙත්තට ම නැගි අයෙකි.

යුද ගැටුම්, කලබගෑනි, ප්‍රචණ්ඩත්වය සහ මිනිස්සුන්ගේ වේදනාව ඡායාරූපයට ඉහළ සමත්කම් දැක්වූ ඡායාරූප මාධ්‍යවේදියකු ලෙස දනීෂ් සිද්දිකි ලොවපුරා ප්‍රකට ය.

දනීෂ් සිද්දිකි නවදිල්ලියේ වැසියකු වන අතර මරණයට පත්වන විට 38 හැවිරිදි වියේ පසුවිය. ඇයගේ බිරිඳ රයිකි වන අතර ඔවුන් කුඩා දරුවෝ දෙදෙනෙක් ද වෙති.

මියන්මාරයේ රොහින්‍යා අර්බුදය ඡායාරූපට නැගී වෙනුවෙන් ඡායාරූප මාධ්‍යවේදීන්ගේ කණ්ඩායමකට 2018 වසරේ දී ලෝ ප්‍රකට පුලිට්සර් සම්මානය හිමි වූ අතර සිද්දීකි එම සම්මානලාභී කණ්ඩායමේ සාමාජිකයෙකි.

“මියන්මාරයෙන් පැන යන රොහින්‍යා සරණාගතයන් මුහුණ දෙන ප්‍රචණ්ඩත්වය ලොවට අනාවරණය කරන ලද ඡායාරූප පෙළක්” යැයි විනිසුරු මඬුල්ල සිද්දීකි ඇතුළු කණ්ඩායම ගෙන තිබූ ඡායාරූපය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයේ සඳහන් විය.

සිද්දීකි සිය වාර්තාකරණය සම්බන්ධයෙන් බෙහෙවින් වෙහෙස මහන්සි වී කටයුතු කළ අයකු බව ඔහුගේ මිතුරෝ සහ වැඩ සගයෝ සඳහන් කරති. යම් කිසි පැවරුමකට යෑමට පෙර ඒ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කරන සිද්දීක් ප්‍රවෘත්තියට මැදි වී සිටින සාමාන්‍ය වැසියන් සම්බන්ධයෙන් බෙහෙවින් සානුකම්පිත වන බව ද ඔවුහු කියති.

ඡායාරූප මාධ්‍ය වාර්තාකරණයේ යෙදෙන සෑම අවස්ථාවකදීම සිද්දීකි ප්‍රවෘත්තියේ මානුෂීය බව ඉස්මතු කිරීමට විශාල සමත්කම් දක්වන්නකු යැයි නවදිල්ලයේ සිටින රොයිටර්ස් වාර්තාකරුවකු වන දෙව්ජොයිත් ගොෂාල් පැවැසීය. හෙතෙම සිද්දීක් ගේ අසල්වැසියා ද වේ.

දනීෂ් සිද්දීකි රොයිටර්ස් ප්‍රවෘත්ති සේවයට සම්බන්ධ වූයේ 2010 වසරේ දී ය. හෙතෙම එතැන් සිට මේ දක්වා කාලයේ දී ඇෆ්ගනිස්තානයේ සහ ඉරාකයේ යුද්ධ, රොහින්‍යා අර්බුද, හොංකොං හි ප්‍රජාතන්ත්‍ර හිතවාදී විරෝධතා සහ ඉන්දියාවේ කලබල යනාදී බොහෝමයක් සිදුවීම් ආවරණය කර ඇත.

“මගේ ඡායාරූපකරණයෙන් සියයට අනූවක් ම මම ඉගෙන ගත්තේ වැඩ කරන ගමන්” යැයි සිද්දීකි වරක් ලියා තැබීය.

“මම වැඩ කරන ගමන් ඉගෙන ගත්තා. වැඩ කරන ගමන් අත්හදා බැලීම් කළා” ඔහු ලිවීය.

අහ්මද් දනීෂ් සිද්දිකි උපත ලැබුවේ 1983 වසරේ මැයි 19 වැනිදා ය. හෙතෙම දිල්ලියේ ජමියා මිලියා ඉස්ලමියා විශ්වවිද්‍යාලයෙන් ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගැනීමෙන් පසු ජනමාධ්‍ය වෘත්තියට පිවිසියේ ය.  

හෙතෙම රොයිටර්ස් ප්‍රවෘත්ති සේවයට සම්බන්ධ වූයේ ‘ද හින්දුස්තාන ටයිම්ස්’ පුවත්පතේ සහ ‘ටී.වී. ටුඩේ චැනල්’ ප්‍රවෘත්ති‌ සේවයේ ඡායාරූප මාධ්‍යවේදියකු ලෙස කටයුතු කිරීමෙන් පසුව ය.

(රොයිටර්)


RECOMMEND POSTS