බොලිවුඩ් නිළි අනන්‍යාගෙන් ප්‍රශ්න කරයි



මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු, මුම්බායි මත්ද්‍රව්‍ය වැටලීම් අංශ පොලිස් නිලධාරීන් ජනප්‍රිය බොලිවුඩ් නිළියක වන අනන්‍යා පාන්ඩේගෙන් ද ප්‍රශ්න කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

අනන්‍යාගෙන් ප්‍රශ්න කිරීම සහ ආර්යන් ඛාන්ව අත්අඩංගුවට ගැනීම අතර සම්බන්ධතාවයක් තියනවාද නැද්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවයට අනුව පොලිසිය 22 හැවිරිදි අනන්‍යා පාන්ඩේගෙන් අවස්ථා දෙකකදී ප්‍රශ්න කර තිබේ.

පොලිසිය පැය ගණනාවක් පුරාවට තමන්ගෙන් ප්‍රශ්න කළේ කුමක් සම්බන්ධව ද යන්න අනන්‍යා මෙතෙක් අනාවරණය කර නැත.

පොලිසිය අනන්‍යාගේ මුම්බායි නිවසට කඩා වැදී නිවස සෝදිසි කළ බවත් ඇගේ ලැප්ටොප් පරිගණකය ඔවුන්ගේ බාරයට ගත් බවත් ඉන්දීය පුවත් සේවා පවසයි.

මුම්බායි හි කෲස් නෞකාවක පැවති සාදයකට සහභාගී වී සිටිද්දී, ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් ඛාන් ඇතුළු පිරිසක් ඉන්දීය මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය විසින් මීට සති කීපයකට පෙර අත්අඩංගුවට ගනු ලැබූ අතර,  ආර්යන් ඛාන් ඇතුළු එම සියලු දෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ආර්යන් ඛාන් ට ඇප ලබාදීම අධිකරණය විසින් අවස්ථා කීපපයකදී ප්‍රතික්ෂේප කළ අතර, නළු  ෂාරුක් ඛාන් රක්ෂිත බන්ධනගාරයට පැමිණියේය. තම පුතු සම්බන්ධයෙන් ෂාරුක් මහත් සිත් තැවුලෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ෂාරුක්ගේ බිරිඳ මෙන්ම ආර්යන්ගේ මව ද වන ගෞරි ඛාන් රෝහල් ගත කර ඇති බවත්, ඇගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS