සරණාගත පිහිනුම් ශූරිය



ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන, ක්‍රීඩිකාවන් 29 දෙනකුගෙන් සමන්විත රටක් නැති ඔලිම්පික් කණ්ඩායම ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. මෙම කණ්ඩායම හැඳින්වෙන්නේ 'සරණාගත ඔලිම්පික් කණ්ඩායම' Refugee Olympic Team (ROT) යනුවෙනි.

සරණාගත ඔලිම්පික් කණ්ඩායමට අයත්, පිහිනුම් ශූරිය 23 හැවිරිදි යුස්රා මර්දීනීය. ජර්මනියේ පදිංචි වී සිටියත්, ඇය සිරියානු ජාතික සරණාගත යුවතියකි. ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වීමත් සමඟ යුස්රා ගැන මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේත් සමාජ මාධ්‍ය ඔස්සේත් ලොකු කතාබහක් නිර්මාණය වී අවසන්ය. ඒ යුස්රා සහභාගී වූ ඉසව් ජයග්‍රහණය කරමින් පදක්කම් දිනූ නිසා නම් නොවෙයි.

කවුරුත් යුස්රා ගැන කතා වෙන්නේ ඇය ජීවිතයේ බාධක ජය ගනිමින් ඔලිම්පික් පිහිනුම් ඉසව් තෙක් ආ අපූරු මෙන්ම ධෛර්යමත් ගමන නිසාය. මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී යුස්රා නිදහස් ආර සහ සමනල ආර යන පිහිනුම් ඉසව්වලට සහභාගී වූවාය.

යුස්රා උපන්නේ 1998 මැයි පස් වැනිදාය. ඇය හැදී වැඩුණේ සිරියාවේ ඩරායා පළාතේය. කුඩා කළ සිටම පිහිනීමට දස්කම් පෙන්වූ ඇය සිරියානු ඔලිම්පික් කමිටුවේ අවධානයට ලක් වූවාය.

2012 වසරේ ඇයට මනා පුහුණුවක් ලැබෙන්න විය. එම වසරේම ජාත්‍යන්තර පිහිනුම් තරග රැසකට සිරියාව නියෝජනය කරමින් යුස්රා ඉදිරිපත් වූවා පමණක් නොව, සිරියාවට ආඩම්බරයක් වෙමින් ජයග්‍රහණය ද හිමිකර ගත්තාය. ඒ මීටර් 200 සහ 400 නිදහස් ආර පිහිනුම් ඉසව්වලින් දස්කම් දක්වමිනි.

දිගු කාලයක් තිස්සේ ජනාධිපති ධුරය හොබවන සිරියානු ජනාධිපති අසාද්ට එරෙහිව විපක්ෂ ක්‍රියාකාරීන් බටහිර රටවල සහාය සහ අනුග්‍රහය මැද ඇරැඹි විරෝධතා, සිවිල් යුද්ධයක් තෙක් දුරදිග ගියේ 2015 දීය. සිවිල් යුද ගැටුම්වලදී යුස්රාගේ නිවස පවා විනාශ විය. යුස්රා ට විනාශ වී ගියේ ඇගේ නිවස පමණක් නොවෙයි ඔලිම්පික් යෑමේ සිහිනයයි.

සිවිල් යුද ගැටුම්වලින් බේරී, සරණාගතයන් ලෙස යුරෝපයට පැන ගැනීම යුසාරාගේ මීළඟ අරමුණ විය. ඒ අනුව, 2015 අගෝස්තුවේ යුස්රාත් ඇගේ සොහොයුරිය සේරාත් පළමුවෙන් ලෙබනනයටත්, ඉන්පසු තුර්කියටත් පලා ගියහ. ඉන්පසු ඔවුහු ජාවාරම්කරුවන්ගේ උදවුවෙන් කුඩා බෝට්ටුවකින් ග්‍රීසියට යෑමට අවස්ථාවක් උදා කර ගත්හ.

යුස්රා සහ සොහොයුරිය සේරා ට ලැබුණු කුඩා බෝට්ටුවේ ගමන් කිරීමට ඉඩ තිබුණේ 6 දෙනකුට පමණක් වුවත්, එහි සිටි පිරිස 18 කි. එජියන් මුහුද හරහා ග්‍රීසිය බලා යද්දී ඇන්ජිම අක්‍රිය වී බෝට්ටුව මුහුද මැද නතර වූවා පමණක් නොව, බෝට්ටුවට වතුර පිරෙන්න පටන් ගත්තේය.

යුස්රා සහ සේරාත් පිහිනීමට හැකි තවත් කිහිප දෙනකුත්, බෝට්ටුව තල්ලු කරගෙන පිහිනා යෑම ආරම්භ කළ අතර, ඇන්ජිම යළි පණ ගැන්වීමට හැකිවනතුරු සැතපුම් ගණනාවක් යුස්රා සහ සේරා ඇතුළු පිරිස බෝට්ටුව තල්ලු කරගෙන පිහිනා යන්න වූහ. ඒ පැය 3 ක් තිස්සේය.

අද 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ඇය පිහිනුම් ඉසවුවලට සහභාගී වෙද්දී, මුළු ලෝකයට යළි යළිත් යුස්රා ගැන කතා කරන්න වූයේ 'සිරියාවේ සිවිල් ගැටුම්වලින් බේරී, යුරෝපයට පිහිනූ යුවතිය' ලෙස ඇය හඳුන්වා දෙමිනි.

පැය 3 ක් තිස්සේ පිහිනීමෙන් පසු යළි බෝට්ටුවේ ඇන්ජිම පණ ගැන්වීමට හැකියාව ලැබුණු අතර, ග්‍රීසියේ ලෙස්බෝස් දූපත බලා පැමිණීමට යුස්රා, සේරා ඇතුළු පිරිස සමත් වූහ. ඉන්පසු පිරිස වත් සැතපුම් දහස් ගණනක් පා ගමනින් යුරෝපයේ ගමන් කරන්න වූහ. අවසානයේදී යුස්රා සහ සේරා ජර්මනිය බලා පැමිණියහ. 2015 සැප්තැම්බරයේ සරණාගතයන් ලෙස ජර්මනියට ඇතුළු වීමට ඔවුන් දෙදෙනාට ඉඩක් ලැබුණි.

අද යුස්රා සහ ඇගේ සොහොයුරිය, මාපියන් සහ බාල සොහොයුරිය ද ජර්මනියේ ජීවත් වෙති. ඔවුන් ජීවත් වන්නේ ද සරණාගතයන් ලෙසය. යුස්රාගේ මාපියන් සහ බාල සොහොයුරිය ද ජර්මනියට පැමිණියේ ද බෝට්ටු මාර්ගයෙන් දිවි පරදුවට තබමිනි.

දක්ෂ පිහිනුම් ශූරියක වීමත්, ධෛර්යවන්ත ජීවිතය ජයගත් යුවතියක් වීමත් නිසා එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්ත තානාපති ධුරයක් ද යුස්රා මර්දීනී පිරිනමා ඇත.

2015 සිට ජර්මනියේ දී පිහිනුම් ශූරියක වීමට යුස්රා පුහුණු වූ අතර ඇයට ජර්මන් පුහුණුකරුවන් කීප දෙනකුගෙන් ඒ සඳහා නිසි පුහුණුව ලැබේ.

සිවිල් යුද ගැටුම්, ආණ්ඩු පෙරැළි, දේශපාලන පළිගැනීම් ආදිය හේතුවෙන් සරණාගතයන් බවට පත්වුණු දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාවක් ලබා දීමට ඔලිම්පික් කමිටුව තීරණය කළේ 2016 රියෝ ඔලිම්පික් උලෙළේදීය.

පළමු වරට 'සරණාගත ඔලිම්පික් කණ්ඩායමක් ඔලිම්පික් උළෙලකට සහභාගී වූයේ ද මෙම 2016 රියෝ ඔලිම්පික් උළෙල හරහාය. යුස්රා ද පිහිනුම් ඉසව් සඳහා සහභාගී වුවත් එම අවස්ථාවේදී ද ඇයට පදක්කමක් ලබා ගැනීමට හැකි වූයේ නැත. යුස්රා පිහිනීමට දක්ෂය. ඉදිරියේ දිනෙක ඇය නිසැක වශයෙන්ම ඔලිම්පික් රන් පදක්කමක් දිනාගනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.

(අල් ජසීරා ඇසුරිනි)


RECOMMEND POSTS