රියැදුරකු නැති ට්‍රැක්ටරය



ඇමරිකාවේ ලාස් වේගාස් නුවර වාර්ෂිකව පැවැත්වෙන, පාරිභෝගික ඉලෙක්ට්‍රොනික වෙළෙඳ ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ විප්ලකාරී නව නිර්මාණයක් ගැනයි මේ. මේ නියැයුම ට්‍රැක්ටරයක්.

රියැදුරෙකු නැතිව සියලු වගා කටයුතු කරන ට්‍රැක්ටරයක්. මේ අපූරු නව ස්වයංක්‍රීය ට්‍රැක්ටරය නිර්මාණය කර තිබෙන්නේ ජෝන් ඩියර් සමාගමය. මේ ට්‍රැක්ටරය නම් කර ඇත්තේ ‘ආර් 8’ යනුවෙනි. ගොවීන්ට දුරස්ථව සිට ස්මාට් ෆෝනයකින් හසුරුවන්න පුළුවන් වීම මෙම ට්‍රැක්ටරයේ තවත් විශේෂත්වයකි.

මේ රියදුරන් නැති ට්‍රැක්ටරය, ජෝන් ඩියර් සමාගම එළිදක්වන යන්ත්‍ර සූත්‍රවලින් එකක් පමණි. ජෝන් ඩියර් සමාගම පවසන ආකාරයට, ඔවුන් මේ වර්ගයේ යන්ත්‍ර සූත්‍ර 20ක් පමණ නවෝත්පාදන හැටියට ඉදිරිපත් කරන්න සූදානමින් සිටී. ඒ එලැඹෙන වසර කීපයේදීය. පසුගිදා ලාස් වේගාස් පැවැති පාරිභෝගික ඉලෙක්ට්‍රොනික වෙළඳ ප්‍රදර්ශනය ආරම්භක දිනයේ දීම මේ නව ට්‍රැක්ටරය නැරඹූ කාගේත් සිත් දිනා ගත් බව පැවැසෙයි. 

නව ටැක්ටරය සඳහා කැමරා යුගල හයක් හා ආසන්න අඟලක් දක්වා ක්‍රියාත්මක වන පරිගණක කෘත්‍රිම බුද්ධි උපකරණ කට්ටලයක් යොදා ගෙන තිබේ. එහෙයින්, හදිසියේ ඉදිරියෙන් බාධකයක් ඇතිවුවොත් හෝ සතකු ඉදිරියෙන් ගියොත් එය ක්ෂණිකව නවතී. ට්‍රැක්ටරයකට එක් දිනක් තුළ මේ උපකරණ කට්ටලය සවි කළ හැකි බව ජෝන් ඩියර් සමාගම පැහැදිලි කර තිබේ. මේ උපකරණ කට්ටලය  ජෝන් ඩියර් සමාගමේ සෙසු යන්ත්‍ර සූත්‍රවලට ද ගැලපෙන ආකාරයට නිර්මාණය කර තිබෙන බව ද තාක්ෂණික ශිල්පීහු කියති. ඒත් උපකරණ කට්ටලය වෙනම විකුණනවාද යන්න ගැන තවමත් සමාගම තීරණය කරලා නොමැත.

ගොවියාට ගොවි බිමට නොබැස දුරස්ථව නව ට්‍රැක්ටරය පාලනය කළ හැකි නිසා කටුක දේශගුණයක් ඇතත්, රාත්‍රි කාලයේ දී වුවත්, නොනවත්වා වැඩ කළ හැකි බව පැවැසෙයි.වෙනත් වචනවලින් කීවොත් තාක්ෂණයෙන් දියුණු මෙම ට්‍රැක්ටරය වෙහෙස මහන්සියෙන් වැඩ කරන ගොවියා කම්මැලියකු කරන අන්දමේ යන්ත්‍රයකි. කෙසේ නමුත්, සී සෑම පමණක් නොවෙයි, සම්පූර්ණයෙන් බිම සැකසීම, පේළියට පැළ හෝ ඇට සිටුවීම ආදියත් ට්‍රැක්ටරයට පහසුවෙන් කළ හැකිය. ගොවිබිමකට යොමු කළ පසු ඒ නියමිත බිම තුළ එහා මෙහා යමින්, බිමේ සීමාවේදී හැරී අනෙක් අතට යමින් සියලු කාර්යයන් මිනිස් සහය නැතුව නිවැරදිව කරන්න ට්‍රැක්ටරයට හැකියාව තිබේ.

"2050 වන විට ලෝක ජනගහනය බිලියන 8 සිට 10ක්වා වැඩි වන නිසා වගා බිම් වැඩි කළ යුතු වෙනවා. ඒ නිසා සේවක හිඟය වැනි ප්‍රශ්නවලට මෙවැනි ස්වයංක්‍රීය උපකරණවලින් විසඳුම් සෙවිය හැකියි." යැයි ජෝන් ඩියර් සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරි ජාමි හින්ඩ්මන් ඔවුන්ගේ නව නිපැයුම ගැන ආඩම්බරයෙන් පවසයි.

ට්‍රැක්ටරය ගොවිබිමට ගෙන යාම ස්මාට් ෆෝනය ස්පර්ශ්යෙන් කළ හැකිය. ඊට පසුව වගා බිම තුළ ට්‍රැක්ටරය හැසිර වීම ෆෝනය දෙස බලා ඒ තුළින් ලැබෙන රූප අනුව කළ යුතුය. මේ සඳහා GPS තාක්ෂණය යොදා ගැනෙයි. එය විශේෂයෙන් බටහිර රටවල ගොවියාට නුහුරු දෙයක් නොවෙයි. GPS තාක්ෂණය යොදා ගෙන මග සොයා ගනිමින්, ට්‍රැක්ටර සහ හාවස්ටරය යන්ත්‍ර මේ වනවිටත් භාවිතයට ගැනීම සිදුවෙයි. ගොවි​බිම්වල නිවැරදිව හරි කෙළින් සීසෑම, බීජ හෝ පැළ රෝපණය ආදිය ද GPS තාක්ෂණය යොදා ගනිමින් සිදු වෙයි. එසේ වුවත් ඒ සියල්ල පසුපස සියල්ල මෙහෙයවීමට ගොවියෝ සිටිති. ඒත්, මේ ට්‍රැක්ටරය නිවසේ සිට හෝ කාර්යාලයක සිට හෝ හැසිරවීමට ගොවීන්ට හැකිය. ජෝන් ඩියර් පමණක් නොවෙයි, ඇමරිකාවේ නිව් හොලන්ඩ්, ජපානයේ කුබෝටා යන සමාගම් ද මේ අයුරින් ස්වයංක්‍රීය ට්‍රැක්ටර් ඇතුළු කෘෂි උපකරණ යන්ත්‍ර සූත්‍ර නිපදවීමට දැනටමත් සැලසුම් කර අවසන් බව පැවැසෙයි.

(ඩේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS