ග්‍රහකයක් නොමඟ යවන්න රොබෝවෙක්



වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළේ ඩයිනසෝරයන්ය. එදා අප පෘථිවිය, සෞරග්‍රහ මණ්ඩලයේ සුන්දර ලෝකයක් වන්නට ඇත. ඒත් සැතපුම් 6 ක් දිග ගල් කැබැල්ලක් ඒ සියල්ල වෙනස් කළේය. එය පෘථිවියේ හැපුණේ, න්‍යෂ්ටික අවි 10,000 ක් එකවර පුපුරුවා හැරියාක් මෙන් ප්‍රබලත්වයකිනි. ඒ පිපිරුමෙන් පසු, පස් දූවිලි අළු ටොන් ගණනක් වායු ගෝලයට මුසු විය. මුළු ලොවම අඳුරු දූවිලි වළාවකින් වැසී ගියේ, තවත් වසර දහස් ගණනකට හිරු එළිය වැටීම වළක්වමිනි. අතීතයේ සිදුවුණාක් මෙන් මෙවැන්නක් යළි අනාගතයේ සිදුවේවි. අද පෘථිවිය රජ කරන මනුෂ්‍ය වර්ගයාගේ අවසානය එය වනු ඇත. ප්‍රශ්නය, ඒ කවදාද යන්න පමණි.

ඩයිනසෝරයන්ගේ විනාශයට හේතු වූයේ කිලෝ මීටර් 10 ක විෂ්කම්භයකින් යුත් ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙනි. මෙම ග්‍රහකය පෘථිවියේ ගැටුණු තැන අද ඇත්තේ මෙක්සිකෝවට අයත් යුකටාන් අර්ධද්වීපයේය. ග්‍රහකය ගැටීමෙන් නිර්මාණය වුණු යෝධ ආවාටය 'චික්සලූබ්' යනුවෙන් හැඳින්වෙයි.

ඉතිං යෝධ ග්‍රහකයක් පෘථිවියේ හැපෙන්න ආවොත් අප කරන්නේ කුමක්ද? 'ආර්මගෙඩ්න්' වැනි අතිශය ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපටවල මෙන්, ග්‍රහකයට ගගනගාමීන් යවා, න්‍යෂ්ටික බෝම්බ අටවා එය පුපුරුවා හැරීම කළ හැකි වේවිද? එසේත් නැතිනම් පෘථිවියේ හැපීමට පැමිණෙන ග්‍රහකයේ ගමන් මඟ වෙනස් කළ හැකිද?

මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට, නාසා ආයතනය අද (24) මෙහෙයුමක් ආරම්භ කළේය. එය ගවේෂණ මෙහෙයුමක් නම් නොවෙයි, අනාගතයේ ග්‍රහකවලින් පෘථිවිය බේරා ගැනීමේ පෙර පුහුණුවකි. නාසා ආයතනය උත්සාහ කරන්නේ, විශ්වයේ ඈත ග්‍රහකයක් තෝරා, ඊට රොබෝ යානයක් ගැටෙන්න සලස්වා, ග්‍රහකයේ ගමන් මඟ වෙනස් කිරීමය. නාසා ආයතනය මෙම මෙහෙයුම නම් කර ඇත්තේ 'ඩාර්ට්' යනුවෙනි.

'ඩාර්ට්' යන්නෙහි අර්ථය, 'ග්‍රහක මඟ වෙනස් කිරීමේ පරීක්ෂණය' යන්නය. 'ඩාර්ට්' මෙහෙයුමට යට කළ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 325 කි. නාසා ආයතනය 'ඩාර්ට්' මෙහෙයුම සැලැසුම් කර ඇත්තේ 2017 වසරේදීය. යුරෝපා සහ ජපාන අභ්‍යවකාශ ආයතනවල ඉන්ජිනේරු සහාය ද මීට හිමිවී තිබේ.

අද (24) 'ඩාර්ට්' රොබෝ යානය අභ්‍යවකාශයට තල්ලු කර හැරුණි. ඒ, 'ෆෝල්කන් 9' රොකට්ටුවක ආධාරයෙනි. 'ෆෝල්කන් 9' යනු ඇමෙරිකාවේ 'ස්පේස් එක්ස්' පෞද්ගලික අභ්‍යවකාශ සමාගම නිපදවා ඇති රොකට්ටුවය. නාසා ආයතනය ඔවුන්ගේ අභ්‍යවකාශ කටයුතු සිදු කරන්නේ 'ස්පේස් එක්ස්' සමඟ එක් වෙමිනි. ඒ අනුව, කැලිෆෝනියාවේ 'වැන්ඩෙන්බර්ග් ස්පේස්ෆෝස්' අභ්‍යවකාශ කඳවුරෙන් 'ෆෝල්කන් 9' රොකට්ටුව අභ්‍යවකාශයට ගියේ 'ඩාර්ට' රොබෝ යානය රැගෙනය.

'ඩාර්ට්' යානය, ඉලක්ක කරගත් ග්‍රහකය බලා ගමන් අරඹන්නේ, පළමුවෙන් පෘථිවියේ ගුරුත්වා බලය යොදා ගනිමින් හිරු වටා යමිනි. 'ඩාර්ට්' ග්‍රහකයේ ඉලක්කය වන්නේ ග්‍රහක යුගලයකට අයත් එක් ග්‍රහකයකි. 'ඩිඩිමෝස්' සහ 'ඩිම්මෝපස්' යනු එම ග්‍රහක යුගලයයි.

මෙම ග්‍රහක හිරු වටා ගමන් කරන අතර, ලබන වසරේ එනම් 2022 සැප්තැම්බර් 26 සිට ඔක්තෝබර් 1 අතර කාලයේ පිහිටන්නේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 6.8 ක් දුරිනි. එම කාලය තුළ 'ඩාර්ට්' යානය, 'ඩිම්මෝපස්' ග්‍රහකයේ හැපීමට නාසා ආයතනය යානයට උපදෙස් දී ඇත. 'ඩිඩිමෝස්'ගේ විෂ්කම්භය මීටර් 780 කි. 'ඩිම්මෝපස්'ගේ විෂ්කම්භය මීටර් 160 කි.

'ඩාර්ට්' යානය 'ඩිම්මෝපස්' ග්‍රහකයේ හැපෙනු ඇත්තේ පැයට කිලෝ මීටර් 24,000 ක වේගයකිනි. නාසා ආයතනය මේ අයුරින් හිතාමතා යානයක් ග්‍රහකයක ගැටෙන්න සලස්වන පළමු අවස්ථාව මෙය වනු ඇත. ග්‍රහක යනු විශ්වයේ පාවෙන ප්‍රමාණයෙන් විශාල ග්‍රහලෝක සහ චන්ද්‍රයන්ගේ කැබලිය. මේවා හිරු වටා ගමන් කරයි. මේවා මෙසේ කැබැලි වී ඇත්තේ විශ්වය ආරම්භයේ දී සිදුවුණු ඝට්ටන සහ පිපිරීම් නිසාය. අප පෘථිවියේ හැපී අනතුරක විය හැකි යෝධ ග්‍රහක 8,000 ක් පමණ තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ තිබේ.

එලැඹෙන දෙසැම්බර් 17 වැනිදා ද පෘථිවිය දෙසට යෝධ ග්‍රහකයක් පැමිණීමට නියමිතය. එම ග්‍රහකයේ විෂ්කම්භය මීටර් 791 කි. ඒ අනුව, මෙය ලොව උසම කුලුනු ගොඩනැගිල්ල වන 'බර්ජ් කලීෆා' තරම් උසය. ග්‍රහකයේ ගමන් මඟ පෘථිවිය අසලින් වැටී ඇති නමුත්, එම ගමන් මඟ දශමයකින් හෝ වෙනස් වුවහොත් එය පෘථිවියේ ගැටීමට ඉඩ ඇතැයි නාසා ආයතනය අනතුරු අඟවා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS