එර්දොවාන්ට තවත් වසර පහක්



වසර 20 ක් තිස්සේ තුර්කියේ ජනාධිපති ධුරය හොබවන රිජෙප් තායිප් එර්දොවාන්ට තවත් පස් වසරක ජනවරමක් හිමිවිය.

තුර්කි ජනාධිපතිවරණයේ දෙවැනි වටය ඊයේ (29) පැවැත්වුණු අතර, දෙවැනි වටය පැවැත්වූයේ පළමු වටයේ වැඩි ඡන්ද දිනූ රිජෙප් තායිප් එර්දොවාන් සහ තුර්කි විපක්ෂ නායක කෙමාල් කිල්කැඩෝර්ග්ලු අතරේය. තුර්කි ජනාධිපතිවරණයේ පළමු වටය පැවැත්වූයේ පසුගිය මැයි 14 වැනිදාය.

එර්දොවාන්, දෙවැනි වටය ජය ගත්තේ සියයට 52.14 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමිනි. 69 හැවිරිදි එර්දොවාන්, 2003 දී පළමුවෙන් තුර්කි අග්‍රාමාත්‍ය ධුරයට පත් විය. ඔහු ජනාධිපති ධුරයේ කටයුතු කරන්නේ 2014 වසරේ සිටය.

දෙවැනි වටයෙන් එර්දොවාන් ජයග්‍රහණය කළ බව තුර්කියේ උත්තරීතර මැතිවරණ කොමිසම නිවේදනය කළ අවස්ථාවේදී පරාජය බාර ගැනීමට කිල්කැඩෝර්ග්ලු අදිමදි කළේය. ප්‍රතිවාදී කිල්කැඩෝර්ග්ලුට දිනා ගැනීමට හැකිවූ ඡන්ද ප්‍රතිශතය සියයට 47.86 ක් බව මැතිවරණ කොමිසම නිවේදනය කර තිබුණි.

තුර්කිය ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට අයත් රාජ්‍යයකි. ‘නේටෝ’ යනු ඇමෙරිකාව, කැනඩාව සහ බටහිර යුරෝපා රටවල් රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි. රුසියාව සමඟ කවදත් යහපත් සබඳතා පවත්වන එකම නේටෝ සාමාජිකයා වන්නේ ද තුර්කියයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS