ඉන්දුනීසියාව කැලඹූ භූමි කම්පාව



ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ ගිනි වළල්ලට ඉහළිනි. භූ විද්‍යාඥයන් ‘ගිනි වළල්ල’ ලෙස නම් කර ඇත්තේ පැසිෆික් භූ තැටිය වටා ඇති කලාපයයි. විද්‍යාඥයන් හඳුනා ගෙන ඇති අන්දමට පෘථිවියේ ප්‍රධාන භූ තැටි 7 කි. විද්‍යාඥයන් පැහැදිලි කරන ආකාරයට, භූමි කම්පා ලෙස හැඳින්වෙන්නේ, භූ තැටි දෙකක් එකමත එක ගැටීමය.

ඉන්දුනීසියාවට භූ කම්පන අරුමයක් නොවෙයි. 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා අප ශ්‍රී ලංකාව ද ඇතුළු, ඉන්දීය සාගර කලාපීය රටවලට කඩා වැදුණු සුනාමිය නිර්මාණය වූයේ ඉන්දුනීසියාවේ උතුරු දිග සුමාත්‍රාවට ඔබ්බෙන් මූදු පතුළේ හටගත්  රික්ටර් පරිමාණයේ 9.5 ක් සටහන් කළ අති ප්‍රබල භූමි කම්පාව හේතුවෙනි. රටවල් 14 ක, ලක්ෂ 3 කට වැඩි පිරිසක් මෙම භූමිකම්පාව සහ ඉන්පසු කඩා වැදුණු සුනාමිය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූහ. ඔවුන්ගෙන් වැඩි දෙනා ඉන්දුනීසියානුවන්ය.

පසුගිය 21 වැනිදා, ඉන්දුනීසියාව යළිත් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. එම භූමි කම්පාවට බිලිවුණු ගණන පසුගිය 23 වැනිදා වන විට 268 ක් බව ඉන්දුනීසියානු රජය නිකුත් කළ නිවේදනවල දැක්විණි. දහසකට වැඩි පිරිසක් භූමි කම්පාව හේතුවෙන් තුවාල ලැබූ බවත්, 15,000 කට උන්හිටිතැන් අහිමිවුණු බවත් පැවැසිණි. මුළුමනින්ම බිමට සමතලා වුණු නිවාස සහ ගොඩනැගිලි ගණන 25,000 කට වැඩිය. 23 වැනිදා වනවිට අතුරුදන් වුණු ගණන 151 කි. මෙම පිරිස මියයන්න ඇතැයි අනුමාන කෙරේ. ඒ අනුව, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ද ඉන්දුනීසියානු බලධාරීහු වැඩිදුරටත් කියා සිටිති.

ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සැදුම්ලත් රාජ්‍යයකි. පසුගිය 21 වැනිදා භූමිකම්පාව හටගත්තේ ඉන්දුනීසියාවේ ජාවා දූපතේ, බටහිර ජාවා පළාතේ, චියැංජූර් කඳුකර නගරය කලඹමිනි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූ​යේ රික්ටර් පරිමාණයේ ඒකක 5.6 ක් ලෙසය. එම  ප්‍රධාන භූ කම්පනයෙන් පසු පසු කම්පන 140 ක් හටගත් බව පැවැසෙයි. බොහෝ දෙනකු තවමත් රැය පහන් කරන්නේ එළිමහනේය.

භූමි කම්පාවේ අපිකේන්ද්‍රය පිහිටියේ කිලෝ මීටර් 10 ක් ගැඹුරේය. භූමි කම්පාව මුහුදු පතුළේ හට නොගත් බැවින්, සුනාමි අනතුරක් නිර්මාණය නොවිණි. භූමි කම්පාව හට ගනිද්දී චියැංජූර් නගර වැසියෝ මහත් සේ බියටත් කලබලයටත් පත්වූහ. වෛද්‍ය ආධාරකරුවෝ වහා ක්‍රියාත්මක වී තුවාල ලැබූවන්ට ප්‍රතිකාර ලබා දීමටත්, සුන්බුන් අතර සිරවුණු පිරිස් මුදා ගැනීමටත් යුහුසුළු වූහ. තුවාල ලැබූ බොහෝ දෙනකුට මගතොට දී ප්‍රතිකාර ලබා දුන් අතර රෝහල්වලට ඇතුළත් කෙරුණේ බරපතල තුවාලකරුවන් පමණි. දිවා රෑ නොබලා දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක විය. කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු පසුගිය 23 වැනිදා වනවිටත් සුන්බුන් අතරේ සිරවී සිටින බව වාර්තා විය.

ප්‍රධාන භූමි කම්පාව සහ පසු භූ කම්පන සමග කඳුකර පළාතේ නාය යෑම් රැසක් ද හටගත්තේය. ප්‍රාන්ත ආණ්ඩුකාර රිද්වාන් කමාලි පැවැසුවේ 23 වැනිදා වනවිට නිවාස අහිමි වුණු 7,000 ක් ප්‍රජාශාලා කීපයක තාවකාලිව නවාතැන් ගැනීමට සියලු මූලික පහසුකම් සැපැයූ බවය. ප්‍රජාශාලා පමණක් නොව පාසල් ද මේ වනවිට සහන කඳවුරු බවට පරිවර්තනය වී ඇතැයි ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දුනීසියාවට බලපෑ භූමි කම්පාව ගැන අසන්න ලැබීමෙන් තමන් මහත් සේ කම්පනයට පත් වුණු බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝට පැවැසුවේ, මියගිය සහ තුවාල ලැබූවන් වෙන්වෙන් ශෝකය පළ කරමිනි. පසුගියදා ‘ජී20’ සමුළුව පැවැත්වූයේ ද ඉන්දුනීසියාවේ බාලි දූපතේය. ඊට සහභාගී වුණු ​‘ජී20’ රටවල නායකයන් අතරේ අග්‍රාමාත්‍ය මෝදි ද විය.

රොයිටර් ඇසුරිනි


RECOMMEND POSTS