අඟහරු මතුපිට ජීවය



ඇමෙරිකාවේ නාසා ආයතනය, ‘රතු ග්‍රහයා’ හෙවත් අඟහරුට ‘පර්සිවියරස්’ රොබෝ රෝවර් යානය යැව්වේ ඉතා වැදගත් මෙහෙයුමක් සඳහාය. ‘පර්සිවියරස්’ රෝවරයට පැහැදිලි අරමුණක් සඳහා උපදෙස් ලබා දී තිබුණි. ඒ, අතීතයේ අඟහරු මත ජීවය පැවැතියේ ද යන්න පිළිබ‍ඳ සාක්ෂි සෙවීමටය. දැන් ‘පර්සිවියරස්’ රෝවරයට, එය සොයමින් තිබූ සාක්ෂි හමුවී ඇතැයි නාසා ආයතනය හරිම ආඩම්බරයෙන් කියයි. ‘ඇත්තටම කීවොත්, ඒක හරියට නිධානයක් පහළ වූවා හා සමානයි’ යැයි නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

‘පර්සිවියරස්’ රොබෝ යානයට හමුවුණේ මොනවාදැයි කීමට පෙර, අපි අඟහරු ග්‍රහයා ගැනත් ‘පර්සිවියරස්’ යානය ගැනත් තොරතුරු මතක් කර ගැනීම වැදගත්. අඟහරු යනු හිරුගේ සිට සිවුවැනි ස්ථානයේ පසුවන ග්‍රහලෝකයයි. හිරු, එසේත් නැතිනම් සූර්යයාගේ සිට අඟහරුට ඇති දුර කිලෝ මීටර් මිලියන 227.9 කි. අඟහරුට චන්ද්‍රයන් දෙදෙනකි. ඒවා නම් කර ඇත්තේ ‘පෝබෝස්’ සහ ‘ඩිමෝස්’ යනුවෙනි.

අඟහරු පසෙහි ඇති යකඩ ඛනිජ ඔක්සිකරණය හෝ මලකඩ පස සහ වායුගෝලය රතු පැහැයක් ගනී. අඟහරු රතු ග්‍රහයා ලෙස හැඳින්වෙන්නේ මේ නිසාය. රාත්‍රී අහසේ අඟහරු දිපීතියෙන් දිස්වන්නේ ද රතු පැහැයෙනි. අඟහරුගේ වායුගෝලය පෘථිවි වායුගෝලයට වඩා සීතලය. ඒ අඟහරු පෘථිවියට වඩා හිරුගෙන් ඈත්වී පිහිටීමය.

අඟහරු වායුගෝලයේ සියයට 95 ක් ඇත්තේ කාබන්ඩයොක්සයිඩ්ය. නයිට්‍රජන් ඇත්තේ සියයට 2.8 කි. ඔක්සිජන් ඇත්තේ සියයට 0.174 කි. ඒ අනුව පැහැදිලියි ජීවය පැවැතීමට සුදුසු වටපිටාවක් අඟහරු මත නැහැ. දැන් අඟහරු මතුපිට ජීවීන් නොසිටියත්, අතීතයේ, එනම් අවුරුදු දහස් ගණනකයට පෙර, අඟහරු ජීවයෙන් පිරුණු තැනක් වන්නට ඇතැයි යන්න විද්‍යාඥයන් බොහෝ දෙනකුගේ විශ්වාසයයි.

මනුෂ්‍ය අප අඟහරු ලොව නිසරු තැනක් බවට පත් වෙද්දී, එහි සිට පෘථිවිට‌ පැමිණි පිරිසක් බවටත් ඇතැමුන් අතරේ මතයක් පවතී. අනාගතයේ 2035 වසරේ දී හෝ 2045 වසරේ දී අඟහරු ගවේෂණයට ගගනගාමීන් යැවීමට නාසා ආයතනය බලාපොරොත්තු වන්නේ අඟහරු මතුපිට ජනාවාස පිහිටුවීමේ අරමුණින්ය.

නාසා ආයතනය සමඟ අත්වැල් බැඳගෙන සිටින ‘ස්පේස් එක්ස්’ සමාගමේ ප්‍රධානී ඉලොන් මස්ක් ද අවස්ථා ගණනාවකදී පවසා ඇත්තේ තමන් අඟහරු ග්‍රහලොවේ පදිංචි වීමට කැමැති බවත්, තමන් අවසන් සුසුම් හෙලීමට අඟහරු තෝරා ගත් බවත්ය. අතීතයේ අඟහරු මතුපිට ජීවය පැවැතියේ නම්, ඒ සම්බන්ධයෙන් සාක්ෂි ඇතැයි අනුමාන කළ හැකි ස්ථාන කීපයක් නාසා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ ඇත. ඒ, මීට පෙර කළ අඟහරු ගවේෂණවලදීය.

එසේ ජීවය පැවැතියේ යැයි හඳුනාගත් ස්ථානයක් වන්නේ අඟහරු මතුපිට ඇති ‘ජෙසිරෝ’ නමැති ආවාටයයි. ඈත අතීතයේ මෙතැන විලක් තිබෙන්න ඇති බවත් ගංගා ආදිය ඊට සම්බන්ධ වෙන්න ඇති බවත් විද්‍යාඥයන් කල්තියා හඳුනා ගෙන තිබුණි. අඟහරු මත අතීතයේ ජීවය පැවැතියේදැයි සෙයා බැලීමේ අරමුණින්, ‘පර්සිවියරස්’ රෝවරය යැවීම කළේ මෙම ආවාටයටය.

2021 පෙබරවාරි 18 වැනිදා ‘පර්සිවියරස්’ රෝවරය ‘ජෙසිරෝ’ආවාටයට පතිත කෙරුණි. එදා සිට මේ දක්වා ‘පර්සිවියරස්’ රෝවරය, ‘ජෙසිරෝ’ ආවාටයේ එහෙ මෙහෙ යමින් ජීවය පැවැතියේදැයි සාක්ෂි රැස් කරන්න පටන් ගත්තේය. පසුගිය සැප්තැම්බර් 17 වැනිදා යානය, නාසා විද්‍යාඥයන් එවූ දත්ත වලින් පැහැදිලි වූයේ ‘ජෙසිරෝ’ ආවාටයේ කාබනික ද්‍රව්‍ය (නිවැරදිව කීවොත් කාබනික අණු) අන්තර්ගත බවය.

විද්‍යාඥයන්ට අනුව, රෝවරය මෙම දත්ත ලබා ගත් ස්ථානයේ අතීතයේ ඩෙල්ටාවක් තිබෙන්න ඇතැයි පැවැසෙයි. ඒ අවුරුදු බිලියන 3.5 කට පෙරය. ‘පර්සිවියරස්’ රෝවරයට හමුවුණු මෙම කාබනික ද්‍රව්‍ය ජීවය ආරම්භ වීමට අවශ්‍ය මූලික සාධක යැයි ද නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති.

ඒ අනුව අඟහරු මතුපිටින් ජීවය පැවැති බවට සාක්ෂියක් පමණක් නොව, පෘථිවියෙන් එපිට, පිටසක්වළ ජීවීන් ඇති බවට සාක්ෂියක් හමුවුණු බව නාසා විද්‍යාඥයන් වැඩි දුරටත් අර්ථ නිරූපණය කර තිබේ. කාබනික ද්‍රව්‍ය හමුවුණු ස්ථානයේ ‘පර්සිවියරස්’ රෝවරය ගවේෂණ කටයුතු නියැළීම ආරම්භ කළේ පසුගිය ජූලි 7 වැනිදා සිටය. රෝවරය පනස් සාම්පල 12 ක් එක් රැස් කර ගනිමින් ඒවා පෘථිවියට එවීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ද පැවැසෙයි.

Daily Mail


RECOMMEND POSTS