මහ රුජිනගේ අබිරහස් ලියුම



එංගලන්තයේ දෙවන එලිසැබත් මහ රැජිනගේ අත් අකුරින් ම ලියූ අබිරහස් ලිපියක් ගැනයි මේ කතාව. මේ ලිපිය එසේත් නැතිනම් ලියුම තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ. නිවැරදිව කීවොත්, ඕස්ට්‍රේලියාවේ ක්වීන් වික්ටෝරියා ගොඩනැඟිල්ලේ වොලට්ටුවක. ලියුම ඉතා සුරක්ෂිතව තැත්පත් කර තිබෙන බව පැවැසෙයි. මේ අරුම පුදුම ලියුම කුමක්ද? ඒ ලියුමේ රැජින ලියා ඇත්තේ කුමක්ද? ලියුම ලියුවේ කවුරුන්ටද? මේ ප්‍රශ්නවලට පිළිතුරු මේ සටහන කියවා අවසන් වෙද්දී දැන ගන්න ලැබේවි.

මේ ලියුම කාටත් හොරා, දෙවැනි එලිසබත් මහ රැජින සිය අත් අකුරින් ම ලියා ඇති නිසා, එහි සුවිශේෂ වැදගත්කමක් තිබිය යුතුයි. කෙසේ නමුත් ලියුමේ ලියා ඇති දේ කුමක් දැයි දැන ගැනීම අසිරු කටයුත්තක් වන්නේ ඒ ලියුම බහාලූ ඇති ලියුම් කවරය විවෘත කිරීමට එතුමිය විසින් ‘කාල තහංචියක්’ පනවා ඇති නිසාය. 

දෙවැනි එලිසබත් මහ රැජින අභාවප්‍රාප්ත වූ බැවින්, ඇය ජීවතුන් අතර නොසිටින බැවින්, ඒ අබිරහස් ලියුම විවෘත කර එය කියවා ඒ රහස දැන ගැනීමට හැකි වනු ඇතැයි දැන් ඔබට සිතේවි. ඒත් එය එසේ නොවෙයි.

අනාගතයේ දී විවෘත කිරීම සඳහා ලියුමක් ලියද්දී ඕනෑම කෙනෙකු සාමාන්‍යයෙන් කරන්නේ එම තැනැත්තාගේ මරණින් පසු හෝ යම්කිසි සිද්ධියකින් පසු හෝ එම ලියුම විවෘත කරන ලෙස තහංචියක් පැනවීමය.

ඒත් මේ අමුතු ලියුමට මහ රැජින දින දී ඇත්තේ අරුම පුදුම විධියකටය. මෙම ලියුමෙන්, රැජින ආමන්ත්‍රණය කරන්නේ, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ජනතාවට ය. එය විවෘත කරන්නට දින නියම කර ඇත්තේ තවත් අවුරුදු 63 කට පසුව එනම් 2085 වසරේ දීය. රැජින ලබා දුන් ‘කාල තහංචිය’ එයයි.

මහ රැජින මේ ලියුම ලියා ඇත්තේ ක්වීන් වික්ටෝරියා ගොඩනැඟිල්ල 1986 දී සම්පූර්ණයෙන් ම අලුත්වැඩියා කිරීමෙන් පසුවය. ලියුම දැනට නරඹන්නන්ට දැක බලා ගත හැකි වන පරිදි එහි වීදුරු ආවරණයක් සහිතව සුරක්ෂිතව තබා ඇත. එය‍ට විශේෂ ආරක්ෂාවක් ද යොදා තිබේ. 

පැවසෙන පරිදි රැජිනගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ කිසිවකු මෙහි අන්තර්ගතය කුමක් දැයි දන්නේ නැත. දැනට දැක ගත හැක්කේ ඒ ලියුම මතුපිට එය විවෘත කිරීමට දැඩි උපදෙස් සහිතව රැජින සිය අත් අකුරින් ම ලියා ඇති කොටස පමණි. එහි රැජින සිය අත්සන යොදා ‘ඕස්ට්‍රේලියාවේ, සිඩ්නි නගරයේ අතිගරු නගරාධිපතිතුමා වෙත’ කියා ලියා තිබේ. 

එහි ඒ ඇමතුමට යටින් මෙසේ ලියා තිබේ‍ : ‘සුබ පැතුම්. ක්‍රි. ව. 2085 දී ඔබ විසින් තීරණය කරන දිනයක මේ කවරය විවෘත කර මෙහි ඇති මගේ පණිවිඩය සිඩ්නි නගරවාසීන් වෙත ප්‍රකාශ කරන්න.’ 

ක්වීන් වික්ටෝරියා ගොඩනැඟිල්ල මුලින් ම විවෘත කරනු ලැබුවේ 1898 දීය. ඒ වික්ටෝරියා මහ රැජිනගේ දියමන්ති ජුබිලිය නිමිත්තෙනි. එහෙත් පසුව ඒ පැරණි ගොඩනැඟිල්ල කඩා දමා එහි උද්‍යානයක් හා රථගාලක් ඇති කිරීමට සැලැස්මක් 1959 දී යෝජනා කෙරුණත් එය අවලංගු කර 1986 දී සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණය කරනු ලැබීය. මේ අබිරහස් ලිපිය මහ රැජින විසින් සිඩ්නි නගරයේ නගරාධිපතිතුමන්ට බාර දෙනු ලැබුවේ 1986 නොවැම්බර් 18 වැනිදාය. 

දෙවන එලිසැබත් මහ රැජින මුලින් ම ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදුණේ 1954 දීය. එදා සිඩ්නි නගරයට පළමු වරට පා තබන විට ඇගේ වයස අවුරුදු 27ක් විය. එහි සැපත් පළමු බ්‍රිතාන්‍ය අධිරාජයා ඇය වූවාය. ඉන් පසු ඇය 16 වතාවක් ඕස්ට්‍රේලියාවට ගොස් ඇත. ඒ කාලයේ වාර්තා අනුව දෙවන එලිසැබත් මහ රැජින හා ඇගේ සැමියා (වල්ලභයා) වූ එඩින්බරෝ ආදිපාදයන් මහත් ප්‍රීති ඝෝෂා මැද මිලියනයක් ජනතාව විසින් පිළිගත් බව සඳහන් ය.

මහ රැජිනගේ ඊළඟ සංචාරය යෙදුණේ ඕස්ට්‍රේලියාවේ අගනුවර වූ කැන්බෙරා නගරයේ 50 වස් සැපිරූ ජුබිලි උළෙලට සහභාගිවිම සඳහාය. ඉන්පසු එතුමිය ඕස්ට්‍රේලියාවට පැමිණියේ 1970 දීය. ඒ කපිතන් ජේම්ස් කුක් ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළට ගොඩ බැසීම නිමිති කොට පැවති දෙසිය වැනි සංවත්සරයට සහභාගි වීම පිණිසය. මෙසේ ඕස්ට්‍රේලියාවට යන අවස්ථා දෙක තුනක දී මහ රැජින ශ්‍රී ලංකාවට සැපත් වූවාය.

ඕස්ට්‍රේලියා පුවත් ඇසුරිනි 


RECOMMEND POSTS