බයිඩන් පුටින් හමුවෙති



ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඓතිහාසික හමුව, අද (16) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්විණි.

ජෝ බයිඩන් ඇමෙරිකා ජනාධිපති ලෙස පුටින් හමුවුණු පළමු අවස්ථව මෙයයි. ඔබාමා පරිපාලන සමයේ ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරය හෙබවූයේ බයිඩන්ය. උප ජනාධිපති ලෙස බයිඩන් සහ පුටින් එකිනෙකා හමුවී ඇත.

ජිනීවා වේලාවෙන් 1.30 ට පමණ රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා ආරම්භ වූයේ ජිනීවා විල ආසන්නයේ පිහිටි 18 වැනි සියවසේ ඉදිකරනු ලැබූ 'විලා දෙ ලා ග්‍රාන්ජේ' මන්දිරයේය.

රාජ්‍ය නායකයන් දෙදෙනාගේ පැමිණීම නිමිත්තෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර නේටෝ සමුළුවට සහභාගී වීමෙන් පසු, ඊයේ (15) පස්වරුවේ ස්විට්සර්ලන්තයේ ජිනීවා බලා පැමිණි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් නවාතැන් ගෙන සිටියේ ද 'විලා දෙ ලා ග්‍රාන්ජේ' මන්දිරයට නුදුරින් වූ සුඛෝපබෝගී හෝටලයකය.

1985 වසරේ දී ඇමෙරිකන් ජනාධිපති රොනල්ඩ් රේගන් සහ සෝවියට් නායක මිහායිල් ගොර්බචොෆ් අතර මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වූයේ ද මෙම 'විලා දෙ ලා ග්‍රාන්ජේ' මන්දිරයේය.

රුසියන් ජනාධිපති පුටින්, ජිනීවා නුවරට පැමිණියේ සමුළුව පැවැත්වීමට පැයකට පෙරය.  'විලා දෙ ලා ග්‍රන්දේ' මන්දිරයට රාජ්‍ය නායකයන් දෙදෙනා පැමිණි අවස්ථාවේ ඔවුන් පිළිගනු ලැබුවේ ස්විට්සර්ලන්ත ජනාධිපතිවරයා විසිනි.

පළමුවෙන් 'විලා දෙ ලා ග්‍රාන්ජේ' මන්දිරයට පැමිණියේ පුටින්ය. බයිඩන් පැමිණියේ විනාඩි කීපයකට පසුවය. ඉන්පසු බයිඩන් සහ පුටින් දෙදෙනා සහ ස්විට්සර්ලන්ත ජනාධිපති ගායි පර්මිලින් ඡායාරූප කීපයකට ද පෙනී සිටියහ.

ඉන් අනතුරුව, උණුසුම් අයුරින් අතට අත දීමෙන් පසු බයිඩන් සහ පුටින් සාකච්ඡා සඳහා අසුන් ගත්තේ මන්දිරයේ පුස්තකාලය පිහිටි ශාලාවේය. බයිඩන් සමග ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ද පුටින් සමග රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් ද පැමිණියහ.

ඇමෙරිකාව සහ රුසියාව අතර අර්බුදයට හේතුවක් වී ඇති කරුණු කාරණා රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. රුසියානු රජයේ අනුග්‍රහයෙන් එල්ල වන සයිබර් ප්‍රහාර, ඇමෙරිකා ජනාධිපතිවරණවලට රුසියාවේ මැදිහත් වීම්, රුසියාව යුක්රේනයේ ක්‍රීමියා පළාත අත්පත් කර ගැනීමෙන් පසු නිර්මාණය වී ඇති අර්බුදය, සිරියානු අර්බුදය, රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නිට වස දීම පසුව ඔහු අත්අඩංගුවට ගැනීම ඇතුළු මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ද චීන රුසියා හිතවත්කම් සම්බන්ධයෙන් ද බයිඩන් සහ පුටින් අතරේ සාකච්ඡාවට බදුන් විය.

ඇමෙරිකා ජනාධිපති බයිඩන් සහ පුටින් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී, ඇමෙරිකා රාජ්‍ය ලේකම් (විදේශ ඇමැති) ඇන්තනි බ්ලින්කන් සහ රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් ද ඊට එක් වී සිටියහ.

ජිනීවා නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS