චීනයෙන් එන රොබෝ ටැක්සිය



චීනයේ තාක්ෂණික යෝධයකු වන බයිදු (Baidu) කුලී රථ සේවාවේ පෙරළියක් කළ හැකි විද්යුත් මොටෝරියක් නිපදවා තිබේ. ඒ විදුලි රිය හඳුන්වා ඇත්තේ ඇපලෝ ආර්ටී6 (Apollo RT6) කියාය. බයිදු සමාගමට අනුව මේ නව විදුලි රියේ මූලික නිෂ්පාදනය සඳහා ඩොලර් 37,000 (රුපියල් 10,946,720ක්) වැය වෙයි. මේ රිය පදවන්න රියැදුරකු නැත. වාහනය පැදවෙන්නේ ඉබේමය. ඔබ කළ යුත්තේ යා යුතු තැන දැනුම් දීම පමණි. ඔබට අවශ්‍ය තැනට රථය ඔබව ආරක්ෂිතව ගෙන ගොස් ඇරලවයි.

මෙහි සුක්කානමක් නැහැ. ඒ වෙනුවට ඒ ඉඩකඩෙහි ඩෙක්ස්ටොප් පරිගණක ආදිය සවි කර තිබෙන්නේ, ඔබේ පාවිච්චිය සඳහාය. ගමන අතරතුර ඔබට පරිගණක ක්‍රීඩාවක හෝ වෙනත් කාර්යයක නිතර වෙන්න පුළුවනි. මෙහි සියලු කටයුතු ඉටුවන්නේ විදුලි රිය මඟ සොයා යන්නට සංවේදක 38ක් යොදා ගැනෙයි. ඒවා වසර 20ක රිය පැදවීමේ පලපුරුද්ද ඇති රියැදුරකු කරන සේවයට සමාන සේවයක් කරයි.
බයිදු සමාගම සූදානමින් සිටින්නේ, මේ විදුලි කුලී රථය 2023 දී මහජන සේවයට යොදවන්නටය.‍ සමාගම මේවනවිට මොටෝ රථ ලක්ෂයක් නිපදවීමට බලාපොරොත්තු වෙයි. ඔවුන් පවසන ආකාරයට, මෙය සත්‍ය වශයෙන්ම ස්වයංක්‍රීය වාහනයකි. සාම්ප්‍රදායික කාරයකට විදුලියෙන් ක්‍රියාකරන උපකරණ හා උපාංග සවි කිරීමක් නම් නොවෙයි.

“මේ බයිදු ආයතනය ලෝක ප්‍රකට ගූගල් ආයතනයට ආ චීන විකල්පය කියායි. බයිදු ආයතනය අපේක්ෂා කරන්නේ 2023 වසරේ මැද හරියේ දී පමණ මෙය වෙළෙඳ පොළට හඳුන්වා දෙන්නයි. ඔවුන්ගේ ‘ඇපලෝ ගෝ’ ප්‍රවාහන සේවයේ කොටසක් හැටියටයි.” යැයි බයිදු සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා පවසයි.

“මහා පරිමාණයෙන් නිෂ්පාදනය කෙරෙන විට ඉතාමත් අඩු වියදමකින් තැනිය හැකි මේ විදුලි රිය නිසා මුළු මහත් චීනය පුරා මේ සේවාව ව්‍යාප්ත කරන්න අපට හැකි වේවි” යැයි පසුගිය දා පැවැති බයිදු වර්ල්ඩ් තාක්ෂණික ප්‍රදර්ශනයට මේ ඉදිරිපත් කරමින් බයිදු ආරම්භක හා ප්‍රධාන විධායක වූ රොබින් ලී පැවැසුවේය. “මේ රෝබෝ ටැක්සි සේවාව ආරම්භ කළ විට දැන් වැය වන මුදලට වඩා බාගයක් විතරයි, ‍යන එන අයට ගමනට වැය කරන්නට සිදු වන්නේ.” යැයි ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

ඇපලෝ RT6 යනු බයිදු ආයතනය තැනූ හය වැනි පරම්පරාවට අයත් විදුලි මෝටර් රථයයි. පෙර විදුලි මෝටර් රථ සියල්ලටම වඩා මෙම නව රථයේ පිරි වැය ඩතා අඩු බව පැවැසෙයි. නිදසුනක් ලෙස ඔවුන් පෙර තැනූ පස් වැනි පරම්පරාවට අයත් මාදිලිය වූ ඇපලෝ මූන් නම් මූලික විදුලි රිය 2021 ජූනි මාසයේදි තනන්නට ඩොලර් 71,000ක් (රුපියල් 25,071,520ක්) වැය විය.

මෙම නව මෝටර් රථයේ මගීන් හතර දෙනකුට යන්න පුලුවනි. බැටරිය තැන්පත් කර ඇත්තේ එහි මැද මගී ආසන අතරය. ප්‍රමාණයෙන් එය SUV වාහනයකත් මිනිවෑන් එකකත් අතරට වැටේ. දෙපා තැබීමට සෙ.මී. 105ක ඉඩකඩක් ඇත. විදුලියෙන් ඇරෙන වැහෙන දොරවල් ක්‍රියා වන්නේ බ්ලූ ටූත් මගින් හෝ ස්මාට් ‍ෆෝන් යොමුවක් මගිනි.

පදවන විට මේ විදුලි රිය, සංවේදක 38ක් භාවිතයට ගැනෙයි. එයට ආලෝක ධාරා මගින් හඳුනාගැනීමේ සංවේදක 8ක්, අතිධ්වනික රේඩාර් 12ක්, කැමරා 12ක්, මිලිමීටර එකක රේඩාර් තරංග හයක් ඇතුළත් වෙයි. මේවා නිසා මේ විදුලි රියට සංකීර්ණ නාගරික ප්‍රදේශවල වුනත් හාත්පස මීටර් 200ක දුරක් ආවේක්ෂණය කිරීමට පුළුවනි.

මුලින් ම ඔවුන් හැදුවේ පවතින කාරයකට ස්වයං පැදවීමක් සඳහා විශේෂ කට්ටලයක් එකතු කිරීමෙනි. එය එතරම් සාර්ථක නොවිණි. ඒ ස්වයංක්‍රීය පැදවුම් කට්ටලය හැඳින්වුණේ ෂිංන්හේ (Xinghe) යනුවෙනි. ඒ හතර වැනි පරම්පරාවේ ස්වයංක්‍රීය රථය එහි කලින් මාදිලියට වඩා ප්‍රබල. හතර වන පරම්පරාවේ ස්වයංක්‍රීය රථයකට රියැදුරු නොමැතිව ධාවනය කළ හැකි වුවත් ඊට සවිස්තරාත්මක සිතියමක් ඇතුළත් කළ යුතුය. ඒමෙන්ම වාහනය යායුතු මාර්ග සීමා කළ යුතු වෙයි.

ඒත් මෙවර ඔවුන් කර තිබෙන්නේ එවැනි දෙයක් නොව; මේ විදුලි රිය සඳහා සමඅතිරික්ත පද්ධති හතක් යොදා ගැනීමකි. එක පද්ධතියක් අක්‍රිය වුවහොත් වෙනත් එකක් ඒ වෙනුවට ක්‍රියාත්මක වෙයි. මෙන්ම බයිදු කියන ආකාරයට ඔවුන් මේ විදුලි යානයේ ආරක්ෂක තත්වය මේ වන විටත් කිලෝමීටර් මිලියන 32ක දුරක් සඳහා අත්හදා බලා තිබේ.

කෙසේ වෙතත් චීන රජ්‍යයේ නීතියට අනුව ස්වයංක්‍රීය වාහනයක් මහ මඟ දුවන්නට නම් ආරක්ෂක රියැදුරකු එහි සිටිය යුතු ය. එමෙන්ම, වරක් සම්පූර්ණ ආරෝපණයක් කළ පසු කොතරම් දුරක් එයට ධාවනය කළ හැකිද කියා බයිදු සමාගම තවමත් අනාවරණය කර නැත‍.
බයිදු සමාගම විසින් 2020 දී ආරම්භ කරන ලද ‘ඇපලෝ ගෝ’ වැඩ සටහන චීනයේ ශෙන්සෙන්, ෂැංහයි, බෙයිජිං ඇතුළු ප්‍රධාන නගර 10ක දැනටමත් ක්‍රියාත්මක වෙයි. ඒ වගේ ම මිලියන ගණනක් මේ මගින් ගමන් බිමන් ගොස් තිබේ. මෑත දී කරන ලද වැඩි දියුණු කිරීම් නිසාත්, නිෂ්පාදන පිරිවැය අඩු කිරීම නිසාත් මේ කුලී රථ සේවාව 2025 දී නගර 65කටත්, 2030 වන විට නගර 100කටත් ව්‍යාප්ත කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙයි.

බයිදු සමාගම වඩාත් ප්‍රසිද්ධ පරිගණක සෙවුම් යන්ත්‍රය සඳහා වුනත් එය ඔන්ලයින් දැන්වීම් ප්‍රචාරණයත් විශාල වශයෙන් සිදු කරයි. මෑත වසරවල ඔවුන් විශාල වශයෙන් ආයෝජනය කළේ රියැදුරු නොමැතිව ස්වයංක්‍රීයව පැදවිය හැකි වාහන සංවර්ධනය කිරීමට මෙන් ම කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කිරීමටය. කාර්යාලයීය පුද්ගල සහකාර වශයෙන් යොදා ගත හැකි රොබෝලා තැනීමටත්, කෘත්‍රිම බුද්ධි චිප නිෂ්පාදනයෙහිත් ඔවුන් චීනය තුළ ප්‍රසිද්ධියක් උසුලයි.

මේ හැරෙන්නට චීනය මේ ස්වයංක්‍රිය වාහන තාක්ෂණය පිළිබඳ ව තමන් ලබා ඇති දැනුම ලෝකය පුරා බෙදා දෙයි. ඒත් ඇමරිකා එක්සත් ජනපදයට ඔවුන්ගේ සේවය ලබා දීම ගැන එතරම් ලොකු උනන්දුවක් නැත. ඒත් 2020 දී ඇරිසෝනාවේ ෆීනික්ස්හී ඇල්ෆබට් ආයතනයේ වේමෝ ස්වයංක්‍රීය කුලී රථ ව්‍යාපෘතියට ඔවුන්ගේ දුන්නේය. එය ගූගල් ආයතනයට අයත් සේවාවකි.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS