සවාහිරි මැරූ හැටි



ඒ, ජූලි 31 වැනිදාය. වේලාව උදෑසන 6.18 ය. ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට හිරු උදා වෙමින් තිබුණි. නගරයට අඩි 50,000 ක් ඉහළ අහසේ ඇමෙරිකන් හමුදාවට අයත් නියමුවන් රහිත, දුරස්ථ පාලනයෙන් ක්‍රියාත්මක, ‘එම්.කියු 9 රීපර්’ ඩ්‍රෝන යානයක් කැරැකෙන්න විය. නියමිත ඉලක්කය හසුකර ගත් සැණින් ඩ්‍රෝන යානය පහර දීමට සූදානම් විය. ‘ආර්9එක්ස් නින්ජා’ යන නමින් හැඳින්වෙන මිසයිල දෙකක් ඩ්‍රෝන යානයෙන් නිකුත් වී විදුලි වේගයෙන් ඉහළ ඉලක්කය වෙත ගමන් කළේය.

‘ආර්9එක්ස් නින්ජා’ මිසයිල දෙකේ ඉලක්කය වූයේ කාබුල් අගනුවර ෂෙර්පූර් දිස්ත්‍රික්කයේ මහල් නිවසක සඳලු තලයේ සිටි වැඩිහිටියෙකි. ඔහු අල් කයිඩා සංවිධානයේ නායක 71 හැවිරිදි අයිමන් අල්-සවාහිරි ය. සවාහිරි, අල් කයිඩා සංවිධානයේ නායකයා බවට පත් වූයේ මීට වසර 11 කට පෙර, අල් කයිඩා නායකයාව සිටි ඔසාමා බින් ලාඩන්ගේ ඝාතනයෙන් පසුවය. බින් ලාඩන් අල් කයිඩා ත්‍රස්ත සංවිධානයට නායකත්වය දෙද්දී, සවාහිරි ඔහුගේ දෙවැනි ලෙසත් මාධ්‍ය ප්‍රකාශක ලෙසත් කටයුතු කළේය.


 
හිරු උදාවත් සමඟ සවාහිරි, මහල් නිවසේ සඳළු තලයට පැමිණ සිටියේ දෙවියන් යැදීමටය. එය ඔහුගේ පුරුද්දක් වී තිබුණි. ඒ, ‘පුරුද්ද’ ඔහුට මරු කැඳවීය. ‘ආර්9එක්ස් නින්ජා’ මිසයිල දෙකෙන් එකක් කෙළින්ම ආවේ සවාහිරිගේ සිරුර සුනුවිසුණු කරමිණි. දෙවනි මිසයිලය, මහල් නිවාසයේ සඳලු තලයට පහළින් වූ දෙවැනි මහලට වැදුණි. ‘ආර්9එක්ස් නින්ජා’ යනු ඇමෙරිකන් හමුදාව, ඔවුන්ගේ ඩ්‍රෝන යානාවලට යොදා ගන්නා නවතම අවියයි. මේ මිසයිලයට පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් නොවෙයි. මිසයිලයට සවි කර ඇත්තේ තියුණු දැති තල පොකුරකි. මේ දැති තල ඕනෑම දෙයක් පසුරු කරයි. සවාහිරිගේ සිරුර කැබැලි කිරීමට ‘ආර්9එක්ස් නින්ජා’ මිසයිලය සමත් විය‍.

ඇමෙරිකාව, ‘ආර්9එක්ස් නින්ජා’ මිසයිල යොදා ගන්නේ ඔවුන්ට අවශ්‍ය ඉලක්කය පමණක් විනාශ කිරීමට සහ අමතර ජීවිත හානි වළක්වා ගැනීමටය. පුපුරන ද්‍රව්‍ය නොමැති බැවින් සහ පිපිරුමක් සිදු නොවන බැවින් ජීවිත හානි හෝ දේපොල හානි හෝ අවමය. ජූලි 31 වැනිදා ප්‍රහාරයෙන් මියගියේ  සවාහිරි පමණි. ඔහුගේ බිරිඳ, දියණිය සහ දියණියගේ දරුවන් නිවසේ සිටියත් ඔවුන්ට අනතුරක් නොවුණු බව ඇමෙරිකන් හමුදාව පවසා තිබේ.

සවාහිරි මෙලෙස ඝාතනය කෙරුණේ, 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වූ අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර 21 ක් ගතවෙද්දීය. 2001 සැප්තැම්බර් 11 වැනිදා අල් කයිඩා ත්‍රස්තයන් ඇමෙරිකාවට පහර දුන්නේ මගී ගුවන් යානා පැහැර ගනිමිනි. 2001 සැප්තැම්බර් 11 වැනිදා ප්‍රහාරයෙන් මියගිය ගණන 3,000 කි. සවාහිරි ඝාතනයත් සමඟ, එම ප්‍රහාරයට සම්බන්ධ සියලු ත්‍රස්ත සාමාජිකයන් එක්කෝ මියගොසිනි; නැතිනම් ඔවුන් සිටින්නේ ඇමෙරිකන් අත්අඩංගුවේය.

2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයේ මහ මොළකරුවකු වන්නේ සවාහිරි යැයි ඇමෙරිකන් බුද්ධි අංශ හඳුනාගෙන තිබේ. කෙන්යාවේත් ටැන්සානියාවේත් ඇමෙරිකන් තානාපති කාර්යාලවලට පහර දීමේ සිද්ධිය පසුපස සිටින්නේ ද සවාහිරිය. ඊට අමතරව, යූඑස්එස් කෝල් ඇමෙරිකන් යුද නෞකාවට පහර දීම සැලැසුම් කර ඇත්තේ ද සවාහිරිය. ඇමෙරිකාව සවාහිරිගේ හිසට ඇමෙරිකන් ඩොලර් මිලියන 25 ක මුදල් ත්‍යාගයක් දෙන බව පවසා තිබුණි.

කාබුල් අගනුවර මහල් නිවසේ සිටි සවාහිරි ඝාතනය කිරීමට ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි අංශය ඉතාමත් ඉවසිල්ලෙන් කටයුතු කර තිබේ. ඔවුන් ඝාතනය සැලැසුම් කර ඇත්තේ මාස 6 ක් තිස්සේය. ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගියේ 2020 අගෝස්තු මාසයේදීය. ඉන්පසු යළිත් ඇෆ්ගනිස්තානය, තලේබාන් සංවිධානය අතට පත් විය. තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ රජයක් පිහිටුවීය. සවාහිරි, කාබුල් නුවර නිවසට යන එන බවට සී.අයි.ඒ. ඒජන්තවරුන්ට දැනගන්න ලැබුණේ පසුගිය අප්‍රේල් මාසයේය. සවාහිරිගේ බිරිඳ, දියණිය සහ දියණියගේ දරුවන් මෙම නිවසේ පදිංචියට පැමිණ තිබුණි. නිවස පිහිටියේ ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයේ රැඳී සිටි සමයේ, විදෙස් තානාපති නිලධාරීන්ගේ නිවාස සහ තානාපති කාර්යාල පිහිටි කලාපයේය.

සවාහිරිගේ බිරිඳට, දියණිය සහ දියණියගේ දරුවන්ට ‘හක්කානී’ ජාලයේ රැකවරණය හිමිවෙමින් තිබුණි. ‘හක්කානී’ යනු ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ ක්‍රියාත්මක තවත් ත්‍රස්ත කල්ලියකි. මොවුන් අල් කයිඩාව සමඟත් ඇෆ්ගන් තලේබාන් සංවිධානය සමඟත් සබඳතා පවත්වයි. ඇමෙරිකන් හමුදාව සමඟ සටන් කරද්දී, තලේබාන් සටන්කාමීන්ට අවි ආයුධ සහ මූල්‍ය පහසුකම් සැපැයීම සිදු කළේ මොවුන්ය. ‘හක්කානී’ ජාලය මෙහෙයවනු ලබන්නේ සොහොයුරන් දෙදෙනකු සහ ඔවුන්ගේ බාප්පා විසිනි. 2020 දී ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු තලේබාන්වරුන් රජයක් පිහිටුවද්දී, ‘හක්කානී’ ජාලයට ඇෆ්ගනිස්තානය තුළ යම් බලයක් නිර්මාණය විය.

‘හක්කානී’ ජාලය පිහිටුවීමේ පුරෝගාමියා ජලලුදීන් හක්කානීගේ පුත්‍රයා සිරාජුදීන් හක්කානී වර්තමානයේ ‘හක්කානී’ ජාලයේ නායකයා වන අතර, ඔහු ඇෆ්ගන් තලේබාන් රජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ද වෙයි. සවාහිරිගේ බිරිඳට, දියණිය සහ දියණියගේ දරුවන්ට කාබුල් නිවස ලබා දී ඇත්තේ ඔහුය. තම බිරිඳ, දියණිය සහ දියණියගේ දරුවන් මෙම නිවසේ පදිංචියට පැමිණීමෙන් පසු වසර ගණනාවක් සැඟවී සිටි සවාහිරි, ඉදහිට මෙම නිවසට පැමිණෙන බව ඔත්තුකරුවන්ගේ මාර්ගයෙන් සී.අයි.ඒ. ඒජන්තවරුන්ට දැන ගන්න ලැබුණි. ඒ අනුව, ඔවුන් පසුගිය මාස හය පුරා නිවස ගැන විමසිල්ලෙන් පසුවූයේ එහි පැමිණෙන සවාහිරිගේ හැසිරීම් රටාව අවබෝධ කර ගනිමිනි. හිරු උදාවත් සමඟ දෙවියන් යැදීමට සඳලු තලයට පැමිණෙන සවාහිරි ඝාතනය කිරීමට සැලැසුම් කෙරුණේ ඒ අනුවය. සී.අයි.ඒ. බුද්ධි අංශය සවාහිරි ඝාතන සැලැසුම ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට අනාවරණය කළේ ජූලි 25 වැනිදාය. ඉන්පසු විශේෂ බුද්ධි අංශ කමිටුවකින් ද ඇමෙරිකන් හමුදාවේ ප්‍රධානීන්ගෙන් සමන්විත කමිටුවකින් ද ඒ සඳහා අවසරය හිමිවිය. සවාහිරි ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කරන්නැයි බයිඩන් අවසන් නියෝගය නිකුත් කළේය.

‘ඔසාමා බින් ලාඩන්ගෙන් පසු අල් කයිඩාවට නායකත්වය දුන් අයිමාන් අල් සවාහිරී ඝාතනය කිරීමට සී.අයි.ඒ. බුද්ධි අංශයත් හමුදාවත් සමත් වුණු බව, දෙවැනි වරටත් ‘කොවිඩ් 19’ ආසාදනය වී, ධවල මන්දිරයේ නිරෝධායනයේ පසුවන ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැවැසුවේ මාධ්‍ය වෙත වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමිණි. “කොපමණ කල් ගියත්, කොතැනක සැඟවුණත්, ඇමෙරිකාවට වින කරන කිසිවකුට ගැලවීමක් නැහැ. එහෙම අයට අපෙන් බේරෙන්න බැහැ. අප ඒ අය සොයා විනාශ කරනවා” යනුවෙන් ජනාධිපති ජෝ බයිඩන් වීඩියෝ පණිඩුවයෙන් අවධාරණය කළේය.

1979 සිට 89  තෙක් කාලයේ, සෝවියට් හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළ අවදියේ, ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි අංශය ‘නිල නොවන මට්ටමින්’ සෝවියට් හමුදා සමඟ සටන් වැදුණු ඇෆ්ගන් මුජහදීන්වරුට සහාය දුන්නේය;  මුදල් දුන්නේය; ආයුධ ලබා දුන්නේය. ප්‍රබල සෝවියට් හමුදාවට එරෙහිව නැගී සිටි ඇෆ්ගන් සිවිල් වැසියන්ගෙන් සමන්විත මුජහදීන්වරු වීරයෝ වූහ. ‘මුජහදීන්’ යනු ඉස්ලාම් දහම වෙනුවෙන් ශුද්ධ යුද්ධයකට (ජිහාද්) සම්බන්ධ වුණු මුස්ලිම් ප්‍රජාවය. 1990 දශකයේ තලේබාන් සංවිධානය බිහිවූයේ මුජහදීන්වරුන් සහ ඇෆ්ගන් සිවිල් වැසියන්නේ එකමුතුවෙනි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ, බිලියනපති ව්‍යාපාරික, සෞදි පුරවැසියකු වූ මොහොමද් බින් අවාද්ගේ පුත්‍රයා ඇමෙරිකාවේ උසස් අධ්‍යාපන කටයුතු අවසන් කර පැමිණි සැණින්, ඔහුගේම කියා ඉදිකිරීම් සමාගමක් පිහිටුවා ගත් අතර පසුව 1979  දී සෝවියට් ආක්‍රමණය සිදුවෙද්දී ඔහු පාකිස්තානයට ගියේය. ඇමෙරිකාව ‘නිල නොවන මට්ටමින්’ ඇෆ්ගන් මුජහදීන්වරුන්ට මූල්‍ය සහාය සහ අවි ආයුධ ලබා දීම කළේ මෙම තරුණයාගේ ඉදිකිරීම් සමාගම හරහාය. මෙම තරුණයා පසුව ඇමෙරිකාවේ සතුරා මෙන්ම ලොව අංක එකේ ත්‍රස්තවාදියා ද වූ ඔසාමා බින් ලාඩන්ය. ඇමෙරිකානු සී.අයි.ඒ. ඒජන්තවරුන්ගේ පමණක් නොව, පාකිස්තාන හමුදාවේත්, අයි.එස්. බුද්ධි අංශයේත් සහාය ඇෆ්ගන් මුජහදීන්වරුන්ට හිමිවුණු අතර එම කටයුතුවලදී අතරමැදියා වූයේ ද බින් ලාඩන්ය.

බින් ලාඩන් ‘අල් කයිඩා’ සංවිධානය පිහිටුවූයේ 1988 වසරේ දීය. සෝවියට්වරුන් ඇෆ්නිස්තානය අස්ථාවර රාජ්‍යයක් බවට පත් කරමින්, පිටවී යෑමෙන් පසු ඇෆ්ගන් වැසියන්ට දිගින් දිගටම ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් කෙණෙහෙළිකම් එල්ල වුණු අතර ‘අල් කයිඩා’ සංවිධානයේ ඉලක්කය වූයේ ඇමෙරිකාවය. ඇෆ්ගත් තලේබාන්වරුන්ගේ සහාය ‘අල් කයිඩා’ සංවිධානයට නොඅඩුව ලැබුණි. 2001 සැප්තැම්බර් 11 වැනිදා අල් කයිඩා ත්‍රස්තයන්, ඇමෙරිකන් මගී ගුවන් යානා පැහැර ගනිමින් ඇමෙරිකාවට පහර දුන්නේ ඒ අනුවය. එම ප්‍රහාරයේ මහ මොළකරු සවාහිරී ය.

ඇමෙරිකන් හමුදා, බින් ලාඩන් සොයා ඝාතනය කළේ 2011 දීය. ඒ වනවිට, ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ බැරැක් ඔබාමාය. ඔබාමාගේ දෙවැනියා මෙන්ම උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ය. සී.අයි.ඒ. බුද්ධි අංශ තොරතුරු අනුව, ඇමෙරිකන් නේවි සීල් භටයන්, ඔසාමා බින් ලාඩන් ඝාතනය කරද්දී, ඔහු පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර මහල් නිවසක සැඟවී ජීවත් විය. 2011 මැයි මාසයේ බින් ලාඩන් ඝාතනය කිරීමෙන් පසු අල් කයිඩාව, බින් ලාඩන්ගේ දෙවැනියා සවාහිරී, අල් කයිඩා නායකයා බවට පත් කර ගැනුණි.

අල් සවාහිරී ඊජිප්තු ජාතිකයෙකි. උපත ලැබුවේ 1951 ජූනි 19 වැනිදාය. ඔහු වැදගත් මෙන්ම උගත් පවුල් පසුබිමක් ඇති අයෙකි. සවාහිරී මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙන් වැඩි දෙනා වෛද්‍යවරුන්ය. සවාහිරීගේ සීයා ඉමාම් රබියා, ඊජිප්තුවේ ප්‍රධාන සුන්නි මුස්ලිම් ආගමික නායකයෙකි. සවාහිරීගේ මාමා අරාබි ලීගයේ පළමු මහ ලේකම් ය. සවාහිරී දේශපාලනයට පිවිසියේ පාසල් වියේදීමය. ඊජිප්තුවේ ‘මුස්ලිම් සහෝදරත්වය’ දේශපාලන පක්ෂය හා සම්බන්ධ වී කටයුතු කළ බැවින්, අවුරුදු 15 දී ඔහු අත්අඩංගුවට ගැනුණි. ‘මුස්ලිම් සහෝදරත්වය’ අද ඊජිප්තුවේ තහනම් කරනු ලැබූ අන්තවාදී ඉස්ලාමීය දේශපාලන කණ්ඩායමකි. මුස්ලිම් සහෝදරත්වයේ  නායකයන් බොහෝ දෙනකු මරා දමා තිබේ. කයිරෝ වෛද්‍ය විද්‍යාලයට ගොස් අධ්‍යාපනය ලබා වෛද්‍යවරයකු වීමට සවාහිරීට සිය දේශපාලන කටයුතුවලට බාධාවක් නොවිණි. 1974 වසරේ උපාධිය ලබා ගත් සවාහිරී, සිවු වසරකට පසු ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය. සවාහිරීගේ පියා මොහොම්මද් මියගියේ 1995 දීය. ඔහු ඖෂධවේදය පිළිබඳ මහාචාර්යවරයෙකි.

සවාහිරී, පවුලේ සම්ප්‍රදාය ඉදිරියට ගෙන යමින්, කයිරෝ නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කළේය. ඊජිප්තු රජය පෙරැළීමට කුමන්ත්‍රණය කළ අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් සමඟ සවාහිරී අතරේ හිතවත්කම් ගොඩනැගෙන්න වූයේ මේ කාලයේය. 1973 දී සවාහිරී, ‘ඊජිප්තු ඉස්ලාමීය ජිහාද්’ සංවිධානයේ සාමාජිකයෙකු විය. 1981 වසරේ කයිරෝ අගනුවර හමුදා පෙළපාළියකට සම්බන්ධ වී සිටියදී ඊජිප්තු ජනාධිපති අන්වාර් සදාත් ඝාතනය කෙරුණි. එම ඝාතනයට සම්බන්ධ යැයි සැක පිට අත්අඩංගුවට ගත් පිරිස අතරේ සවාහිරී ද විය. අන්වාර් සදාත් ඝාතනයට හේතුව වූයේ ඔහු ඊශ්‍රායලය සමග සාම ගිවිසුමකට අත්සන් කිරීමය. ජනාධිපති අන්වාර් සදාත් ඝාතනයට සෘජුව සම්බන්ධ නොවුණත්, අනවසරයෙන් ආයුධ ළඟ තබා ගත් බවට සවාහිරී ට චෝදනා එල්ල වුණු අතර ඔහුට තෙවසරක සිර දඬුවම් නියම කෙරුණි. ඊජිප්තු බන්ධනාගාරයේ දී සවාහිරී නොයෙක් අමානුෂික වධබන්ධනයන්ට යොමු කෙරුණි. විජාතික සහ සිත්පිත් නැති ප්‍රචණ්ඩ අන්තවාදියකු බවට අක්ෂි ශෛල්‍ය වෛද්‍ය සවාහිරී පරිවර්තනය වූයේ එදා කයිරෝ බන්ධනාගාරයේදීය.

1985 වසරේ නිදහස ලැබූ සවාහිරී සෞදි අරාබියට ගියේය. ඉන්පසු පාකිස්තානයටත්, ඇෆ්ගනිස්තානයටත් ගියේය. ඇෆ්ගනිස්තානයේ දී ඔහු ‘ඊජිප්තු ඉස්ලාමීය ජිහාද්’ අන්තවාදී සන්නද්ධ කල්ලියේ ශාඛාවක් පිහිටුවා ගත්තේය. සෝවියට්වරුන් ඇෆ්ගනිස්තානයට අත්පත් කරගෙන සිටි කාලයේ අල් සවාහිරි ඇෆ්ගනිස්තානයේ වෛද්‍යවරයකු ලෙස සේවය කරන්නට විය. 1993 වසරේ දී ප්‍රධාන ‘ඊජිප්තු ඉම්ලාමීය ජිහාද්’ කල්ලියට නායකත්වය දුන්නේ අල් සවාහිරී ය. ඊජිප්තු අග්‍රාමාත්‍ය අටීෆ් සිද්කී සහ ඊජිප්තු රජයේ අමාත්‍යවරුන්  ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළේ මෙම අන්තවාදී සන්නද්ධ කල්ලියයි. 1990 දශකය මැද දී, ‘ඊජිප්තු ඉම්ලාමීය ජිහාද්’ කල්ලිය ඊජිප්තු රජය පෙරළා, ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කළේය. ඒ අනුව දරුණු ලේ වැගිරීමක් විය. ඊජිප්තු වැසියෝ 1,200 ක් මරණයට පත් වූහ.

1997 වසරේ දී ඊජිප්තුවේ සංචාරක නගරයක් ද වන ලක්සෝර්වලට ප්‍රහාරයක් එල්ල විය. විදෙස් සංචාරකයන් අමු අමුවේ ඝාතනය කෙරුණි. එසේ කළේ ‘ඊජිප්තු ඉම්ලාමීය ජිහාද්’ කල්ලි සාමාජිකයන්ය. මියගිය පිරිස අතර ඇමෙරිකන් සංචාරකයෝ ද වූහ. සවාහිරී ඇමෙරිකාවේ සතුරකු බවට පත් විය. ඊජිප්තු හමුදා අධිකරණයක් අල් සවාහිරි සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්විය. ඒ, සවාහිරි අධිකරණයේ නොමැතිවය. එහිදී සවාහිරීට මරණ දඬුවම් නියම කෙරුණි.

1990 දශකයේ සවාහිරි ලෝකය පුරා සංචාරය කළ බව ඇමෙරිකන් බුද්ධි අංශ අනාවරණය කර තිබේ. ඒ, ඔහුට රැකවරණය ලැබෙන ස්ථාන සහ අනුග්‍රාහකයන් සොයා ගැනීමේ අපේක්ෂාවෙනි. සෝවියට්වරුන් ඇෆ්ගනිස්තානය අතහැර යෑමෙන් පසු වසර කීපයක් සවාහිරී බල්ගේරියාවේ, ඩෙන්මාර්කයේ සහ ස්විට්සර්ලන්තයේ ජීවත් විය. ව්‍යාජ ගුවන් ගමන් බලබත්‍රයකින් බෝල්කන් රාජ්‍යයන් බලා ගියේය. ඔස්ට්‍රියාවේ, යේමනයේ, ඉරානයේ, ඉරාකයේ සහ පිලිපීනයේ ද සංචාරය කළේය. 1996 දෙසැම්බරයේ මාස 6 ක් රුසියන් අත්අඩංගුවේ පසුවිය. ඒ, නිසි වීසා බලපත්‍රයක් නොමැතිව චෙච්නියාවට යෑමට ගත් උත්සාහය අසාර්ථක වීමෙනි. තමන් කවුරුන්දැයි රුසියන් ආරක්ෂක අංශ හඳුනා නොගත්තේ තමන් සතුව පැවැති ලියකියවිලි අරාබි බසින් වීම නිසා යැයි සවාහිරී පසුව පැවැසුවේය. 1997 දී සවාහිරී ඇෆ්ගනිස්තානයේ ජලල්ලාබාද් නුවරට පැමිණියේය. ඔසාමා බින් ලාඩන් සිටියේ ජලල්ලාබාද් නුවරය. බින් ලාඩන් මැදිහත් වී, සවාහිරීගේ ‘ඊජිප්තු ඉම්ලාමීය ජිහාද්’ කල්ලිය සහ තවත් ඉස්ලාමීය කණ්ඩායම් හවුල් කර ගනිමින් ‘අල් කයිඩා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානය ශක්තිමත් කළේ ඒ අනුවය. අල් කයිඩාව ජාත්‍යන්තරයේ භීෂණය ආරම්භ කළේ ඉන් පසුවය.
කෙන්යාවේත් ටැන්සානියාවේත් ඇමෙරිකන් තානාපති කාර්යාලවලට පහර දෙමින් 223 දෙනකු මරා දැම්මේ අල් කයිඩාවය. බින් ලාඩන් සහ අල් කයිඩාව එම තානාපති කාර්යාලවලට පහර දුන් බව ඇමෙරිකන් බුද්ධි අංශ තහවුරු කර ගත්තේ සවාහිරීගේ චන්ද්‍රිකා දුරකතන පණිවුඩ හරහා ය. කෙන්යා සහ ටැන්සානියා තානාපති කාර්යාලවලට පහර දීමෙන් සති දෙකක් යද්දී ඇමෙරිකන් හමුදාව ඇෆ්ගනිස්තානයේ අල් කයිඩා පුහුණු කඳවුරු හඳුනා ගනිමින් ඒවාට ගුවන් ප්‍රහාර එල්ල කළේය. එයින් සවාහිරීගේ නියෝජ්‍ය නායකයන් ඝාතනය විය. ඒ අනුව සවාහිරීට ජාත්‍යන්තරය සමඟ සබඳතා පැවැත්වීම ගැටලුවක් වූ බව පැවැසෙයි.

2011 වසරේ දී ඇමෙරිකා හමුදා බින් ලාඩන් ඝාතනය කිරීම, සහ ඉන්පසු අල් කයිඩා නායකත්වය හිමිවනතුරු අල් සවාහිරි නිහඬ ගමනක් ඇරැඹුවේය. ඔහු නිවේදන නිකුත් කළේ කලාතුරකිනි. සවාහිරී අල් කයිඩා නායකත්වයට පත් වීමෙන් පසු ඇමෙරිකන් හමුදා ඉලක්ක කර ගනිමින් ඇෆ්ගනිස්තානයේ ප්‍රහාර සිදුවුවත් අල් කයිඩාව ‘ඇල් මැරුණු’ ස්වරූපයක් ගත්තේය. කාලයක් අල් කයිඩාව සමඟ එක් වී සිටි කුඩා ත්‍රස්ත කල්ලියක් වූ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත කල්ලිය, ඉරාකයේත් සිරියාවේත් හිස ඔසවමින්, අල් කයිඩාව පරයමින්, ලොව බිහිසුණුතම ත්‍රස්ත සංවිධානය බවට පත් වූයේ ඒ නිසාය.

සවාහිරී සිටින තැන නිවැරදිව දැන ගනිමින්, ඩ්‍රෝන ප්‍රහාරයකින් ඔහු ඝාතනය කිරීම ඇමෙරිකාව ලැබූ ජයග්‍රහණයකි. බින් ලාඩන්ගෙන් පසු සවාහිරි අල් කයිඩාවේ නායකයා වූවා සේම, සවාහිරීගෙන් පසු අල් කයිඩාවට නව නායකයකු පත් වනු ඇත. එසේ පත්වන නායකයා කවුරු වුවත්, ඔහු බින් ලාඩන් තරම් හෝ සවාහිරි තරම් හෝ බිහිසුණු නායකයකු නොවනු ඇත. මෙසේ පවසන්නේ සවාහිරී ඝාතන මෙහෙයුම දියත් කළ සී.අයි.ඒ. බුද්ධි අංශයයි.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS