ෂර්ලොක් හෝම්ස් නැගණියගේ වික්‍රමය
කොවිඩ් 19 වසංගතය හමුවේ සිනමාහල් වැසී, සිනමාලෝලීන් රිදී තිරයෙන් ඈත් වී, පුංචි තිරයට ළං වෙද්දී, ප්‍රධාන පෙළේ චිත්‍රපට බොහොමයක් නෙට්ෆ්ලික්ස් නාළිකාව හරහා එළිදැක්විණි. ඉදිරියේ දී එසේ නෙට්ෆ්ලික්ස් හරහා විකාශය වීමට නියමිත චිත්‍රපටයක් වන්නේ ‘එනෝලා හෝම්ස්’ ය.
එනෝලා හෝම්ස් කවුරුන්දැයි ඔබ නොදන්නේ නම් හෝම්ස් වාසගම ඇති බැවින් ඇය ඥාති වෙන්නේ කාටදැයි අනුමාන කළ හැකි වනු ඇත.
එනෝලා හෝම්ස් යනු සර් ආතර් කොනන් ඩොයිල් නිර්මාණය කළ අමරණීය ප්‍රබන්ධ චරිතය වන විශිෂ්ඨ රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්ගේ බාල නැගණියයි.
කොනන් ඩොයිල්, නිර්මාණය කළ ෂර්ලොක් හෝම්ස් කතාවල සිටින්නේ ෂර්ලොක්ගේ වැඩිමහල් සොයුරා මයික්‍රොෆ්ට් පමණි. මයික්‍රොෆ්ට් ද ෂර්ලොක් මෙන්ම තියුණු බුද්ධියකින් සමන්විතය. සියුම් දේ දැකීම, අනුමානය සහ අපරාධ විසඳීමට හපනෙකි. ෂර්ලොක් පෞද්ගලික රහස් පරීක්ෂකයකු වුවත්, මයික්‍රොෆ්ට් රහස් පරීක්ෂකයකු නොවෙයි. ඔහු බ්‍රිතාන්‍ය මහ රැජිනට සහ රජයට සහාය වෙමින්, එරට දේශපාලනයට සම්බන්ධ චරිතයකි.
කොනන් ඩොයිල්ට අනුව, ෂර්ලොක්ට හෝ මයික්රොෆ්ට හෝ නැගණියක නැත. එනෝලා හෝම්ස් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කළ චරිතයක් ද නොවෙයි. එනෝලා හෝම්ස් චරිතය ලොවට හඳුන්වා දීම සිදුවූයේ මෑත කාලයේ එනම් 2006 දී ය. එනෝලා හෝම්ස් බිහි කළේ ඇමෙරිකන් ලේඛිකා නැන්සි ස්ප්රින්ගර් ය.
‘එනෝලා හෝම්ස්’ යන නමින් එලැබෙන සැප්තැම්බරයේ, නැරැඹීමට හැකිවනු ඇත්තේ 71 හැවිරිදි ලේඛිකා නැන්සි ස්ප්රින්ගර්, නිර්මාණය කළ චරිතය පාදක කර ගත් චිත්‍රපටයකි.
නැන්සි ස්ප්රින්ගර් සිය පළමු ‘එනෝලා හෝම්ස්’ නව කතාව ලියා පළ කළේ 2006 දීය. ඉන්පසු 2010 වනවිට ඇය ‘එනෝලා හෝම්ස්’ වික්‍රම ඇතුළත් යොවුන් පාඨකයන් වෙනුවෙන් නවකතා පොත් 6 ක් එළිදැක්වූවාය.
ෂර්ලොක් හෝම්ස් චරිතය ගිනස් වාර්තා අතරට ද එක් වී ඇත. ඒ, රූපවාහිනී සහ චිත්‍රපට චරිතයක් ලෙස වැඩිම වාර ගණනක් දකින්න ලැබුණු ප්‍රබන්ධ චරිතය ලෙසිනි. ‘එනෝලා හෝම්ස්’ චිත්‍රපටයේ ෂර්ලොක් හෝම්ස් සහ මයික්‍රොෆ්ට් හෝම්ස් දකින්න ලැබේ. සුපර්මෑන් ලෙසත්, නෙට්ෆ්ලික්ස් හරහා විකාශය වූ ‘විචර්’ කතා මාලාව හරහාත්, මිෂන් ඉම්පොසිබල් ෆෝල් අවුට් චිත්‍රපටයේ නපුරා ලෙසත් ජනප්‍රිය වූ හෙන්රි කවිල්, ෂර්ලොක් හෝම්ස්ගේ චරිතයට පණ පොවයි.
මයික්‍රොෆ්ට්ගේ චරිතයට පණ පොවන්නේ සෑම් ක්ලැෆින් ය. ‘මී බිෆෝ යූ’ චිත්‍රපටයේත්, ‘ලව් රෝසි’ චිත්‍රපටයේත් සෑම් ක්ලැෆින් දකින්න ලැබුණි. සෑම් ක්ලැෆින් වඩාත් ජනප්‍රිය බ්‍රිතාන්‍ය ටෙලි නළුවකු ලෙසය.
මිලි බොබී බ්‍රව්න්
‘එනෝලා හෝම්ස්’ගේ චරිතය නිරූපණය කරන්නේ නෙට්ෆ්ලික්ස් හරහා විකාශය වූ ‘ස්ට්‍රෙන්ජර් තිංග්ස්’ රූපවාහිනී කතා මාලාවට එක් වුණු පුංචි කෙල්ල මිලි බොබී බ්‍රව්න් ය. ‘ස්ට්‍රෙන්ජර් තිංග්ස්’ කතාමාලාවෙන් පසු මිලී ‘ගොඩ්සිලා කිංග් ඔෆ් මොන්ස්ටර්ස්’ චිත්‍රපටයේ දකින්න ලැබුණි. ඇය ලබන 2021 දී තිරගත වීමට නියමිත ගොඩ්සිලා මීළග චිත්‍රපටය ‘ගොඩ්සිලා වර්සස් කොංග්’ චිත්‍රපටයටත් සම්බන්ධ වී සිටී. ‘එනෝලා හෝම්ස්’ ලෙස චරිත නිරූපණයට එක් වන මිලීගේ වයස අවුරුදු 16 කි.
ස්ට්‍රෙන්ජර් තිංග්ස් කතා මාලාවේ පුංචි කෙල්ල
ගොඩ්සිලා කිංග් ඔෆ් මොන්ස්ටර්ස් චිත්‍රපටයේ
‘එනෝලා හෝම්ස්’ චිත්‍රපටයේ ෂර්ලොක්, මයික්‍රොෆ්ට් සහ එනෝලාගේ මව ද දකින්න ලැබේ. හෝම්ස් මහත්මිය ලෙස චරිත නිරූපණයෙන් එක් වන්නේ හොලිවුඩය ද ජය ගත්, සම්මානනීය බ්‍රිතාන්‍ය නිළි හෙලේනා බ්රොන්හම් කාටර් ය. චිත්‍රපටයේ කතාවට අනුව, මවගේ අතුරුදන් වීම සම්බන්ධ අබිරහස විසඳීමට මැදිවෙන්නේ එනෝලා ය.
රූගත කිරීම්වල නියැලෙමින් ...
‘එනෝලා හෝම්ස්’ විත්රපටයේ අධ්යක්ෂවරයා හැරී බ්රැඩර් ය. හැරී බ්රැඩර් සම්මානනීය බ්‍රිතාන්‍ය රූපවාහිනී ටෙලි කතා සහ ටෙලි සිනමා නිර්මාණකරුවෙකි.
පසුගිය කාලයේ ෂර්ලොක් හෝම්ස් ලෙස චරිත නිරූපණයෙන් රසික හදවත් දිනා ගත්තේ රොබට් ඩවුනි ජූනියර් සහ බෙනඩික් කම්බර්බැච්ය. රොබට් ඩවුනි ජූනියර් රිදී තිරයේ ෂර්ලොක් හෝම්ස් වූ අතර බෙනඩික් කම්බර්බැච් බීබීසී පුංචි තිරයේ විකාශය වූ නවීකරණයට ලක් වුණු ‘ෂර්ලොක්’ රූපවාහිනී කතා මාලාවේ ෂර්ලොක් හෝම්ස් විය. මොවුන් දෙදෙනාම මාවල් සුපිරි වීරයන් ලෙස රංගනයේ යෙදීම සුවිශේෂී කරුණකි. මාවල් සිනමා ලොවේ අයන් මෑන් රොබට් ඩවුනි ජූනියර් වන අතර ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ චරිතයට පණ පොවන්නේ බෙනඩික් කම්බර්බැච් ය.