විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රංශ හඬ



'නිරෝධායන නීති වලට වසන්වී විදේශ ගත ශ්‍රීලාංකික ශ්‍රමිකයින් සූරා කෑමට විරුද්ධව පෙල ගැසෙමු' යන තේමාව ප්‍රධාන කොට ප්‍රංශයේ වෙසෙන ශ්‍රීලාංකිකයන්ගේ එකමුතුව විසින් සංවිධානය කල උද්ඝෝෂණයක් ඊයේ (17) වැනි බදාදා සවස 2 සිට සවස 4 දක්වා පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.

විදේශ ගත ශ්‍රී ලාංකිකයකු ශ්‍රී ලංකාවට (තම මව් බිමට) පැමිණීම සඳහා විදේශ  කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගැනීම අවලංගු කළ යුතු බවත්, අධික මුදලක් ගෙවා මිල අධික හෝටල් වල දින 14ක් නිරෝධායනය වීම අවලංගු කරමින් ඒ වෙනුවෙන් ඇති යාන්ත්‍රණය වෙනස් කළ යුතු බවත් උද්ඝෝෂණයට එක්වුණු පිරිස් හඩ නගන්න වූහ.

පෙර මෙන් නිදහසේ තම මවු බිමට පැමිණීමට අවස්ථාව ලබා දෙන ලෙස සහ නිසි සෞඛ්‍යය ක්‍රමවේද වලට යටත්ව තම නිවෙස් තුළම නිරෝධායනය වීමට ඇති හැකියාව ද ලබා දෙන මෙන් උද්ඝෝෂණයට එක් වුණු පිරිස් ඉල්ලා සිටියහ.

රාජ්‍ය ගුවන් සේවයේ ගුවන් ටිකට් පත් සඳහා අසාධාරණ අධික මිළ ගණන් නියම කිරීම, හා විදේශ ගත රක්ෂණයක් හිමි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියා පදිංචි ආරක්ෂණ ආවරණයකට පවා උරුමකම් ඇති අපගේ මැද පෙරදිග සහෝදර ශ්‍රී ලාංකිකයන් කිසිදු ගෙවීමකින් තොරව මව් රටට ගෙන්වා ගැනීම යන ප්‍රධාන කරුණු  මුල් කර ගනිමින්, රජයට බලකර සිටීමට මෙම උද්ඝෝෂණය පැවැත්වුණු බව සංවිධායකයෝ පැවැසුහ.

පැරීසියේ වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම් ශ්‍රීලාංකිකයන් ඒකරාශී වූ මෙම අවස්ථාවේදී උද්ඝෝෂණයේ අරමුණු පැහැදිලි කරමින් සිංහල හා දෙමළ භාෂාවන්ගෙන් කතාවන් පවත්වන ලදී.

සාමකාමීව සිදුවූ මෙම උද්ඝෝෂණයෙන් පසු සංවිධායකයන් විසින් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනිය වෙත සංදේශයක් බාර දීමට සූදානම් කරනු ලැබ තිබුණත් තානාපති කාර්යාලය වසා දමා පොලිස් ආරක්ෂාව යොදා තිබු හෙයින් සංදේශයක් බාර දීම එදින සිදු නොවිණි.

කෙසේ නමුදු විදේශ ගත ශ්‍රීලාංකිකයන්ගේ ඉල්ලීම් ඉටු නොවුනහොත් ඉදිරියේදී දැවැන්ත පෙළපාළියකින් පැරීසියේ වීදි සංචාරය කිරීමට පැමිණ සිටි ශ්‍රීලාංකිකයන්ගේ කැමැත්ත පළවිණි.

ඉන් අනතුරුව ජාතික ගීය ගෑයීමෙන් පසු උද්ඝෝෂණය අවසන් කරන ලදී.

සුනිල් ආනන්ද
පැරීසියේ සිට

RECOMMEND POSTS