බයිඩන්ගේ පළමු දින 100 අවසන්



ජනපති ධුරයට පත් වී දින 100 සම්පූර්ණ කිරීමත් සමඟ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අද 28) කොංග්‍රස් මණ්ඩලය අමතමින් කියා සිටියේ කොරෝනා වසංගතය හමුවේ අභියෝග ජයගනිමින්, කඩා වැටුණු රටේ ආර්ථිකය යළි ගොඩ ගැන්වීමට තම පරිපාලනය සමත් වූ බවය.

කොරෝනා වසංගතය හමුවේ ඇමෙරිකන් ආර්ථිකය අකර්මණ්‍ය වූයේ පසුගිය 2020 වසරේදීය. ඒ, බයිඩන්ට පෙර ජනපති ධුරයේ කටයුතු කළ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කොරෝනා වසංගතය අවතක්සේරු කළ නිසා යැයි චෝදනා එල්ල වී තිබුණි.

බයිඩන් පරිපාලනය කොරෝනා ව්‍යාප්තිය පාලනයට තහංචි පැනැවීමට පියවර ගත් අතර, එන්නත්කරණ වැඩසටහන යටතේ ඇමෙරිකානුවන් මිලියන 100 කට එන්නත් ලබා දීමට පියවර ගෙන ඇත. තවමත් ලොව කොරෝනා ආසාදිතයන් සහ මරණ වැඩියෙන්ම වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. කෙසේ නමුත්, එන්නත්කරණ වැඩසටහන හේතුවෙන් වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ඇමෙරිකන් සෞඛ්‍ය අංශ සමත් වී සිටී.

කොංග්‍රස් මණ්ඩලය (ඇමෙරිකන් පාර්ලි‌මේන්තුව) අමතමින් ජනපති බයිඩන් කියා සිටියේ මිලියන 1.3 ක් නව රැකියා අවස්ථා ඇති කිරීමට තම පරිපාලනය සමත් වුණු බවය. මෙම වසරේ ඇමෙරිකානු ආර්ථිකය සියයට 6 ක වර්ධනයක් කරා ගෙන යෑ තමාගේ ප්‍රතිපත්තිවලින් එකක් යැයි ද ජනාධිපති බයිඩන් කොංග්‍රස් මණ්ඩලය හමුවේ පෙන්වා දුන්නේය. ජෝ බයිඩන් සිය විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ද කොංග්‍රසය හමුවේ පැහැදිලි කළේය.

ඇෆ්ගන් සංග්‍රාමය අවසන් කර, එරටට සාමය උදා කිරීමත්, ඇමෙරිකන් සොල්දාදුවන් සියලු දෙනා ආපසු ගෙන්වා ගැනීමටත් බයිඩන් පරිපාලනය මේ වනවිටත් කටයුතු ආරම්භ කර තිබේ. රුසියාව සහ චීනය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කිරීමට පසුබට නොවන බව ද ජනපති බයිඩන් කොංග්‍රස් මණ්ඩලය හමුවේ පැහැදිලි කළේය.

ජනාධිපතිවරණය පැරදී, ධුරයෙන් යෑම පවා ප්‍රතික්ෂේප කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළ අවස්ථාවේදී, ඔහුගේ රිපබ්ලිකන් පක්ෂය ඇතුළේත්, රිපබ්ලිකන් පක්ෂය සහ ඩිමොක්‍රටික් පක්ෂය අතරේත් බෙදීමක් හටගත්තේය. එම 'බෙදීම' අවසන් කිරීමට උත්සාහ ගන්නා බව ජෝ බයිඩන් කොංග්‍රසය අමතමින් අවධාරණය කළේය.

සම්ප්‍රදායට අනුව, ඇමෙරිකන් ජනාධිපතිවරයා කොංග්‍රස් මණ්ඩලය අමතද්දී, ඔහු පිටුපසින් අසුන් ගන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායකයා සහ උප ජනාධිපතිවරයාය.

ජෝ බයිඩන් කොංග්‍රස් මණ්ඩලය ඇමැතූ අවස්ථාවේ පිටුපසින් අසුන්ගෙන සිටියේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායකයා නැන්සි පෙලෝසි සහ ඇමෙරිකන් උප ජනාධිපති කමලා හැරිස් ය.

ඇමෙරිකා දේශපාලන ඉතිහාසයේ, කාන්තාවන් ‌දෙදෙනකු මෙසේ ජනාධිපති පසුපස අසුන් ගත් පළමු අවස්ථාව මෙය යැයි ද එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS