ඉන්දියාවේ මරණ ලක්ෂ දෙක පසු කරයි



ඉන්දියාවේ රෝහල් සියල්ල කොරෝනා රෝගීන්ගෙන් පිරී, ඔක්සිජන් නොමැතිවීමෙන් එම රෝගීන් දැඩි අපහසුතාවට පත් වෙද්දී, එරට කොරෝනා මරණ මේ වනවිට ලක්ෂ දෙක පසු කර තිබේ.

තවමත් ඉන්දියාවෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 3 ඉක්මවයි.‍ ගතවුණු පැය 24 දී වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 3,60,900 කි. ඒ අනුව ඊයේ (28) වෙද්දී ඉන්දියාවේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ගණන මිලියන 18 පසු කළේය. සමස්ත මරණ 2,01,187 ක් ලෙස සටහන් විය.

ඉන්දියාවේ ප්‍රාන්ත 10 කින් සියයට 74 කට වඩා ආසාදිතයන් වාර්තා වේ. ආසාදිතයන් ඉහවහා ගොස් ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සහ නවදිල්ලි අගනුවරය.

ඉන්දියාවේ පැතිර යන කොරෝනා ද්විත්ව විකෘතිය ආසාදනය වැළැක්වීමට එරට භාරත් බයෝටෙක් ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති 'කොවැක්සින්' එන්නතට හැකියාව ඇතැයි පර්යේෂකයෝ පෙන්වා දෙති.

'කොවැක්සින්' යනු සියයට සියයක් ඉන්දීය තාක්ෂණය භාවිතයට ගනිමින් නිපදවා ඇති කොරෝනා ආසාදනය වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නතය. මෙම එන්නතට අඩපණ කළ හැකි යැයි පැවැසෙන්නේ බී 1.617 නමැති වයිරස විකෘති ප්‍රභේදයයි.

මේ වනවිට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු එරට මැති ඇමැතිවරුන් ලබාගෙන ඇත්තේ ද මෙම 'කොවැක්සින්' ප්‍රතිශක්තිකරණ එන්නතය.

මෙම 'කොවැක්සින්' එන්නත ලබා ගත් ඉන්දියානුවන් බොහෝ දෙනකුට කොරෝනා ආසාදනය වී නොමැති බව ද පැවැසෙයි.

කොරෝනා ආසාදිතයකු වූ නමුත්, ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන 88 හැවිරිදි මන්මෝහන් සිං අසාධ්‍ය තත්ත්වයකට පත් නොවී සුවය ලැබීමට හේතුවක් වූයේ ද ඔහු මෙම 'කොවැක්සින්' එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන සිටි නිසා යැයි වෛද්‍යවරු පෙන්වා දෙති.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නැන්දණිය වන නර්මදාබෙන් මෝදි, 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය ඊයේ (28) වාර්තා කළේය.

80 හැවිරිදි නර්මදාබෙන් කොරෝනා වයිරසය ආසාදනය වී, පසුගිය දින 10 පුරා රෝගී වී ප්‍රතිකාර ලබමින් සිටි බවත්, ඇය ඊයේ (28) උදෑසන අහ්මෙදාබාද් නුවර අශ්‍රාවා රෝහලේ දී අවසන් සුසුම් හෙලූ බවත් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ බාල සොහොයුරු ප්‍රහ්ලාද් මෝදිය.

නර්මදාබෙන් මියගොස් ඇත්තේ ස්වසන අපහසුතා උත්සන්න වීමෙන් යැයි නර්මදාබෙන් පුත්‍රයා පවසා තිබේ. නර්මදාබෙන්, අග්‍රාමාත්‍ය මෝදිගේ පියා දමෝන්ද්‍රදාස්ගේ බාල සොහොයුරා වන ජග්ජිවේන්දාස්ගේ බිරිඳ ය. ජග්ජිවේන්දාස් මියගොස් ඇත්තේ මීට වසර 25 කට පෙරය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS