දුර්ලභ නෙළු ශාකයක් හමුවෙලා



ශ්‍රී ලංකාව යනු විශාල ජෛව විවිධත්වයක් සහිත රටකි. ආවේණික ශාක හා සත්ව විශේෂ රැසකම උරුමය මෙරට සතු වුවත් මේ වන විට ඒ අතරින් බොහොමයක් වඳවී ගොසිනි. තවත් ඒවා වඳවීයාමේ තර්ජනයකට ලක්ව ඇත.

ශ්‍රී ලංකාවට අවේනික සහ දුර්ලභ නෙළු ශාක විශේෂයක් වසර 50කට පසු බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නාවලකන්ද වනාන්තර පද්ධතියට යාබද වූ ගුලවිට උතුර ග්‍රාමසේවා වසමෙන් පසුගියදා හමු වී ඇත.

Strobilanthes Rhytisperma යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම නෙළු ශාක විශේෂය 1867 වසරේ දී මධ්‍යම පළාතෙන් සහ 1971 වසරේ දී කළුතර දිස්ත්‍රික්කයේ රන්වල කැලේ රක්ෂිතය තුලින් හමු වී ඇති බව පර්යේෂණ සටහන් තුල සඳහන් වී ඇතත් මේ වන විට එම ශාකය සජීවීව පවතින ස්ථානයක් සොයා ගත නොහැකි බව වාර්තා වේ.

පරිසර ගවේශකයෙකු වන පේශල පසන් කරුණාරත්න මහතා විසින් මෙම ශාකය වලල්ලාවිට  ප්‍රදේශයේදී සොයාගෙන ඇති අතර ඉන්පසු ශාක විශේෂ පිළිබඳ විශේෂඥයකු වන හිමේෂ් දිල්රුවන් ජයසිංහ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ශාක විශේෂ පිළිබඳ පර්යේෂණ කරන රේණුකා නිලන්ති රාජපක්ෂ සහ නුවන් චතුරංග ජයවර්ධන යන මහත්ම මහත්මීන් විසින් කළ නිරීක්ෂණ මගින් මෙය නෙළු ශාක විශේෂය බවට තහවුරු කර ඇත.

 ඒ අනුව මෙම ශාක විශේෂය වාර්තා වී ඇත්තේ වසර 50කට පමණ පසු වන අතර, 2020 රතු දත්ත ලේඛනයට අනුව දැඩි ලෙස තර්ජනයට ලක් වූ ශාකයක් ලෙස මෙම ශාක විශේෂය නම් කර ඇතැයි පේෂල පසන් කරුණාරත්න මහතා පැවසීය.

 නෙළු යන නාමයෙන් පොදුවේ හඳුන්වන Strobilanthes ගණයට අයත් ශාක විශේෂ 450ක් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික සහ ඕස්ට්‍රේලියානු  කලාපවලින් වාර්තා වී ඇති අතර ඉන් විශේෂ 27ක් මෙරටට ආවේනික විශේෂයන් බවත් ඔහු සඳහන් කළේය.

පරිසර ගවේශක පේශල පසන් කරුණාරත්න

විවිධ වගාවන් හා මිනිස් වාසය සඳහා භූමිය හෙළි පෙහෙළි කිරීමේ දී මේ ශාක විශේෂයට වාසස්ථාන අහිමි වී ඇති අතර ඉදිරියේ දී වනවැස්ම සීඝ්‍රයෙන් ක්ෂය වීමත් සමග මෙය තවදුරටත් අනතුරට පත් වනු ඇතැයි පර්යේෂකයෝ පවසන බව ද කරුණාරත්න මහතා කීවේය.

මෙම ශාකය සොයාගත් නාවලකන්ද වනාන්තර පද්ධතියද  සිංහරාජය කන්නෙලිය වැනි පහතරට තෙත් කලාපීය ලක්ෂණවලින් යුත් කුඩා වනබිමක් වන අතර  අතිශය දුර්ලභ ශාක හා සත්ව විශේෂ රැසක් වාසය කරන එම වනාන්තර පද්ධති පිළිබඳ මෙතෙක් විධිමත් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකර නැතැයි ඔහු පැවසීය.

එවැනි විධිමත් අධ්‍යයනයක් සිදුකල හැකි නම් මෙතෙක් හඳුනා නොගත් ජීවී විශේෂ රැසක් හඳුන‍ා ගැනීමට මෙන්ම එම ජීව විශේෂ අනාගත ලෝකයට උරුම කරදීමට  හැකි වනු ඇතැයි ද කරුණාරත්න මහතා සඳහන් කළේය.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS