ඇමෙරිකන් පාසලක වෙඩි තැබීමක්



සැල්වදෝර් රමෝස්

ඇමෙරිකාවේ ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් අවුරුදු 7 ත් 11 ත් වයසේ පොඩි දරුවෝ 19 දෙනෙක් සහ ගුරුවරු දෙදෙනක් ජීවිතක්ෂයට පත්වූහ.

වෙඩි තැබීම සිදුවූයේ ටෙක්සාස් ජනපදයේ මෙක්සිකෝ දේශසීමාවට යාබදව පිහිටි යුවල්ඩි ප්‍රාන්තයේ යුවල්ඩි නගරයේ ‘රොබ්’ ප්‍රාථමික පාසලේය. පිස්තෝලයක් සහ රයිෆලයකින් සන්නද්ධව, වෙඩි නොවඳින කබායකින් ද සැරැසී පාසලට නඩා වැදී වෙඩි තැබීම කළේ 18 හැවිරිදි ගැටවරයෙකි. ඔහු සැල්වදෝර් රමෝස්ය.

වෙඩි තැබීම සඳහා පාසලට කඩා වැදීමට පෙර, රමෝස් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ඔහු සතු ගිනි අවිවල ඡායාරූප ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඉන්පසු ඔහු ඔහුගේ පෙම්වතිය යැයි පැවැසෙන තරුණියක සමඟ ඉන්ස්ටග්‍රෑම් හරහා පණිවුඩ හුවමාරු කරමින් කතාබහ කර ඇත.

ඇතැම් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ පෙම්වතිය යැයි පැවැසෙන මෙම තරුණිය මෙක්සිකෝවේ සිටින බවත්, ඇය ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට රමෝස් උත්සාහ කළ බවත්, එය අසාර්ථක වූ බැවින් පාසලට කඩා වැදී වෙඩි තැබීම කළ බවත්ය.

පාසලට කඩා වැදී පොඩිත්තන්ට සහ ගුරුවරුන්ට වෙඩි තැබූ සැල්වදෝර් රමෝස්, පාසල තුළ සිටිද්දී, ප්‍රාන්ත පොලිස් නිලධාරීන් පැමිණ පාසල වට කළේය. එම අවස්ථාවේදී  රමෝස් සහ පොලිස් නිලධාරීන් අතර වෙඩි හුවමාරු සිදුවිය.

මේ අතර, පාසලේ වෙඩි තැබීමේ සිද්ධිය අසන්න ලැබුණු ඇමෙරිකන් මෙක්සිකෝ දේශසීමාවේ ආරක්ෂාවට සිටි දේශසීමා ආරක්ෂක බලඇණියේ නිලධාරියකු වහා ක්‍රියාත්මක වී, සිය කණ්ඩායම ද සමඟ පාසලට පැමිණි අතර, ත්‍රස්ත මර්දන කටයුතු සම්බන්ධයෙන් මනා පුහුණුවක් ලබා, අවි ආයුධවලින් සන්නද්ධ වී සිටි එම කණ්ඩායම සැල්වදෝර් රමෝස් වට කර වෙඩි තබා ඔහු මරා දැමීය.

ඊවා මිරෙලේස්

රමෝස්, ‘රොබ්’ පාසලට කඩා වැදී ඇත්තේ, සිය නිවසේ සිටි අත්තම්මාට ද වෙඩි තබමිනි. අත්තම්මා ගුවන් මගින් රෝහල් ගත කර ඇති බව ද වාර්තා විය.

රමෝස් කළ වෙඩි තැබීමෙන් මියගිය ගුරුවරියන් දෙදෙනාගෙන් එක් අයකු 44 හැවිරිදි ඊවා මිරෙලේස්ය. ඇය හතර වසර දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන වසර 17 ක් තිස්සේ ගුරුවෘත්තියේ නියැළෙන තැනැත්තියකි. ඊවාගේ සැමියා පොලිස් නිලධාරියෙකි. එම පොලිස් නිලධාරියා පාසල් ගුරුවරුන්ට සහ දරුවන්ට විශේෂ පුහුණුවක් ලබා දෙන නිලධාරියකු යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.

(ඩේලිමේල්)


RECOMMEND POSTS