කුමරිය රජ පවුලෙන් සමුගනී



ජපානයේ මකෝ කුමරිය ඇගේ විශ්ව විද්‍යාල පෙම්වතා කෙයි කොමුරෝ සමඟ විවාහ ගිවිස ගත්තාය.

කෙයි කොමුරෝ සාමාන්‍ය ජපන් පුරවැසියෙකි. ජපන් රජ පවුලේ නීතියට අනුව, රජ කුමරියක සාමාන්‍ය පුරවැසියකු සමඟ විවාහ වන්නේ නම්, ඇයට රාජකීයයත්වය අහිමි වෙයි. ඒ අනුව, මකෝ කුමරියට ඇගේ රාජකීයයත්වය අහිමි විය. මෙම නීතිය ජපානයේ කුමාරයන්ට අදාල වන්නේ නැත.

විවාහයත් සමඟ රජ පවුලෙන් නික්මී යද්දී, රජ පවුලේ සෙසු සාමාජිකයන්ගේ කැමැත්ත අනුව කුමරියට රාජකීය මංගල උත්සවයක් සදහාත් කිසියම් සැලකිය යුතු මුදලකුත් ලබා දීම සිදුවෙයි. කෙසේ නමුත් මකෝ කුමරිය ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ තමන්ගේ සතුට ඇත්තේ කෙයි කොමුරෝ ළඟ පමණක් බවය.

රජ කුමරියක සාමාන්‍ය වැසියකු සමඟ විවාහ වී රාජකීයයත්වය අත්හරින අවස්ථාවේදී එම කුමරියට රජ මැදුරෙන් පිටවී යෑම වෙනුවෙන් ජපන් යෙන් මිලියන 150 මුදලක් හිමිවෙයි. මකෝ කුමරිය ප්‍රතික්ෂේප කළේ මෙම මුදල යැයි ජපාන මාධ්‍ය වාර්තා කර තිබේ.

මකෝ කුමරියගේ මාපියන් වන්නේ ඔටුන්න හිමි ෆුමිහිතෝ කුමරු සහ කිකෝ කුමරියයි. ජපානයේ අධිරාජ්‍යයා වන්නේ නරුහිතෝය. මොහුට පුතුන් නොමැති අතර සිටින්නේ එක් දියණියක පමණි. එහෙයින්, ජපානයේ මීළඟ අධිරාජ්‍යයා බවට පත් වීමට නියමිත මකෝ කුමරියගේ පියා ඔටුන්න හිමි ෆුමිහිතෝ කුමාරයාය. ෆුමිහිතෝ කුමාරයාගේ වැඩිමල් දියණිය මකෝ ය.

විවාහ ලියාපදිංචිය සඳහා මකෝ කුමරිය සහ කෙයි කොමුරෝ පිටත් වූයේ ඊයේ (26) ජපානයේ වේලාවෙන් උදෑසන 10 ටය. ඊට පෙර කුමරිය සහ කෙයි කොමුරෝ එක්වී මාධ්‍ය හමුවක් පැවැත්වූහ. ඒ, කුමරියගේ නවාතැනේදීය. විවාහ ගිවිස ගැනීම සිදුවූයේ  ටෝකියෝ අකසක නගරයේදීය.

කෙයි කොමුරෝ ආදරවන්තයා සහ සැමියා ලෙස තෝරා ගැනීම නිසා, ජපාන වැසියන් සිත් තැවුලට පත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ දී මකෝ කුමරිය සමාව ඉල්ලීමක් ද කළාය. ඊට අමතරව තමන්ට සහාය දැක්වූ සියලු ජපාන වැසියන්ට සහ රජ පවුලේ සාමාජිකයන්ට ස්තුති කිරීමට ද කුමරිය අමතක නොකළාය. මකෝ, රජ කුමරියක ලෙස සහභාගී වූ අවසන් මාධ්‍ය හමුව එය විය.

මාධ්‍ය හමුව අවසන් කර අද (26) ජපාන වේලාවෙන් උදේ දහයට ඇගේ මාපියන්ට කීප වරක් හිස නමා ආදාර කිරීමෙන් අනතුරුව, කුමරිය සහ කෙයි කොමුරෝ විවාහය ලියාපදිංචිය සඳහා පිටත් වී ගියහ. එසේ පිටත්ව යද්දී, මකෝ කුමරියගේ බාල සොයුරිය පැමිණ මකෝ කුමරිය වැළඳ ගත්තාය.

මකෝ කුමරිය මෙන්ම කෙයි කොමුරෝ ද 30 හැවිරිදි වියෙහි පසුවන අතර, දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය ජපානය කැලැඹූ එකක් වි තිබේ. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබද්දී හටගත් එම ප්‍රේම සම්බන්ධය වසර අටක් තිස්සේ පැවැතිණි.

නොගැලපීම් මැද යුවළ විවාහ වීමට සූදානම් වූයේ 2017 වසරේදීය. ඒ බව රජ පවුල ජනතාවට දැනුම් දෙන ලදී. එම අවස්ථාවේ, කෙයි කොමුරෝගේ මවගෙන්, කෙයි කොමුරෝට ලැබිය යුතු වත්කම් සම්බන්ධයෙන් ගැටලු මතුවිය. එම ගැටලුවලට ප්‍රධානතම හේතුව වූයේ කෙයි කොමුරෝගේ මව සහ ඇගේ පෙර සහකරුවා අතර සිදුවුණු මුදල් ගනුදෙනුය. කෙයි කොමුරෝ සිය වත්කම් ජපාන වැසියන්ට හෙළි කළ යුතු වූ බැවින්,  කුමරිය සහ ඔහුගේ විවාහය කල් දැමීමට සිදුවිය. ඉන්පසු කෙයි කොමුරෝ සිය නීති උපාධිය සඳහා ඇමෙරිකාව බලා ගියේය.

නීති උපාධිය හිමිකර ගැනීමෙන් අනතුරුව කෙයි කොමුරෝ ඇමෙරිකාවේ නීතීඥවරයකු ලෙස රාජකාරි කරයි. පසුගිය දා ඔහු යළි ජපානය බලා පැමිණියේ සිය වත්කම් සම්බන්ධව පැවැති ගැටලු සියල්ල නිරාකරණය කරමිණි. ඔහු කුමරිය සමඟ විවාහ ගිවිස ගැනීම ඒ අනුව සිදුවිය. පැවැති මාධ්‍ය හමුවේ දී කෙයි කොමුරෝ සිය වත්කම් සියල්ල ජපන් වැසියන්ට අනාවරණය කළේය.

එසේ වුවත් එදා මෙන් ම අදත් මාකෝ කුමරිය සහ කෙයි කොමුරෝගේ ආදර සම්බන්ධය ජපාන වැසියන් බොහෝ දෙනකු අනුමත නොකරන බව ජපන් මාධ්‍ය වාර්තා කර තිබේ. රජ පවුලට කිසිදු ගරුසරුවක් නැති තරුණයකු යැයි ජපාන වැසියන්ගේ අප්‍රසාදයට කෙයි කොමුරෝ ලක්වී අවසන් යැයි ද පැවැසෙයි. ජපන් අධිරාජ්‍යයාට මෙන්ම රජ පවුලේ සාමාජිකයන්ට අසීමිත ලෙස ආදරය කරන සහ ගෞරවය දක්වන ජපන් වැසියන්, කෙයි කොමුරෝ සලකන්නේ ඔවුන්ගේ ආදරණීය කුමරිය ඔවුන්ගෙන් උදුරා ගත් තැනැත්තා ලෙසය. විවාහ ලියාපදංචිය සිදුවෙද්දී විරෝධතා රැළි කීපයක් ද පැවැත්වූයේ ඒ නිසාය. විවාහයෙන් පසු යුවළ ජපානයට සමු දී ඇමෙරිකාවේ පදිංචියට යෑමට නියමිතය.

(ඩේලිමේල්)


RECOMMEND POSTS