කොල්ලෝ 3 යි: කෙල්ලෝ 3 යි



මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අද දිනය ඉතා වැදගත් ඉතිහාසගත වන දිනයක් වනු ඇත. ඒ ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් දරු උපත සිදු වූ දිනය බැවිනි. කොළඹ නයින්වෙල්ස් රෝහලේදී අද (21) අළුයම 12.16ත් 12.18ත් අතර කාලයේදී මෙම දරුවන් මෙලොවට බිහිවූයේ සිසේරියන් සැත්කමකිනි.

බිළිඳුන් තිදෙනකු හා බිළිඳියන් තිදෙනකු වශයෙන් මෙම දරුවන්ට උපත ලබාදුන්නේ අයි.ඩී.එච් ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දිලිනි වාසනාය. ප්‍රභාත් උදයංග (35) මෙම දරුවන්ගේ පියා වේ.

මොවුන්ගෙන් මුලින්ම බිහිවූ දරුවා දියණියක් වන අතර ඉන්පසු පිළිවෙලින් පිරිමි දරුවන් තිදෙනාත්, අනෙක් දියණියන් දෙදෙනාත් බිහිවී ඇත.
ඔවුන්ගේ උපත් බර ග්‍රෑම් 1,600ත් ග්‍රෑම් 836ත් අතර වන අතර සිසේරියන් ශල්‍යකර්මයක් මගින් දරුවන් විනාඩි දෙකක කාලයකදී මෙලොවට බිහිකර ඇත්තේ ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය ටිරාන් ඩයස් මහතා විසිනි.

දරුවන් සහ මවගේ තත්වය මේ වන විට යහපත් බවත්, මව වෛද්‍ය අධීක්‍ෂණය යටතේ නයින්වෙල්ස් රෝහලේ දැඩිසත්කාර ඒකකයේත්, දරුවන් නව ජන්ම දැඩිසත්කාර ඒකකයේත් රඳවා සිටින බවත් වෛද්‍ය ටිරාන් ඩයස් මහතා සඳහන් කළේය.

දරුවන්ගේ පියා වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වන අතර මව තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ උසස් රැකියාවක නිරතව සිටින්නීය.
මෙම ඉතිහාසගත දරු උපත සම්බන්ධයෙන් මහාචාර්ය ටිරාන් ඩයස් මහතා මෙසේ පැවසීය.

“මේ මව මා වෙත පැමිණියේ දරු ගැබට වයස සති 9ක් 10ක් පමණ වන විටයි. ශ්‍රී ලංකාවේ මීට පෙර සය නිවුන් දරු උපතක් සිදුවී තිබුණේ හෝ මට එවැනි අත්දැකීමක් තිබුණේ නැහැ. මා මීට පෙර සිවු නිවුන් දරු උපතක් සිදුකර තිබුණා. ඒත් මීට වසර හතරකට පමණ පෙරයි. මේ මව මා හමුවට පැමිණි අවස්ථාවේ මා මුලින්ම කළේ ස්කෑන් පරීක්‍ෂාවක් මගින් ඇගේ කුසේ දරුවන් සිටින ආකාරය පරීක්‍ෂා කිරීමයි. දරුවන් තුනට වැඩි පිළිසිඳ ගැනීමකදී යම් අවදානමක් තිබෙනවා.

සාමාන්‍යයෙන් දරු උපතක් සිදුවන්නේ සති 38කින් පමණ වුවත් එක් දරුවකුට වඩා පිළිසිඳගෙන ඇති අවස්ථාවල මවගේ හා දරුවන්ගේ සෞඛ්‍ය තත්වය සළකා ප්‍රසූතිය සිදුකළ යුතු කාලය තීරණය කරන්න අපට සිදුවෙනවා. සති 27 ඉක්මවන විට මේ මවට අධි රුධිර පීඩනය ඇතිවුණා. කායික රෝග විශේෂඥ ප්‍රියංකර ජයවර්ධන මහතා වෙත ඇය යොමු කර එම තත්වයට ප්‍රතිකාර ලබාදෙමින් ඇගේ ගර්භනී කාලය හැකිතාක් ඉදිරියට ගැනීමට මා උත්සාහ කළා. අවසන් කාලයේදී දරුවන් දෙදෙනකු වෙත රුධිර සැපයුම අඩු වූ නිසා සති දෙකක් දිනපතා ස්කෑන් පරීක්‍ෂණ සිදුකළා. අවසානයේ සති 31 දී මෙම දරු ප්‍රසූතිය සිදුකරන්න අපිට සිදුවුණා.

මේ දරුවන් සිසේරියන් සැත්කමක් මගින් විනාඩි දෙකකදී බිහිකරවීමට හැකිවුණා. මවගෙන් වැඩි රුධිර වහනයක් සිදුවීම අවදානම් නිසා හැකි ඉක්මනින් ප්‍රසූතිය සිදුකළ යුතුව තිබුණා. මම ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය කරන විට නිබන්ධනයට කළේ නිවුන් දරු පිළිසිඳගැනීමකදී දරුවන්ගේ සෞඛ්‍ය තත්වය ආරක්‍ෂා කරගැනීමට ස්කෑන් පරීක්‍ෂණ යොදාගන්නා ආකාරය ගැනයි. ඒ දැනුමත් මට මෙහිදී ඉතා වැදගත් වුණා.”

දරුවන්ගේ පියා වන ප්‍රභාත් උදයංග මහතා පවසන්නේ එක් දරුවකු බලාපොරොත්තුවෙන් සිටි තමාට දරුවන් සය දෙනකු එක්වර ලැබීම විශාල සතුටක් බවයි.

“අපි විවාහ වුණේ මීට වසර දෙකකට පමණ පෙරයි. එක්වර දරුවන් හය දෙනෙක් ලැබෙන්න යන බව දැනගත් විට සතුටක් දැනුණත් යම් තිගැස්මකුත් ඇතිවුණා. ලංකාවේ මීට පෙර නිවුන් දරුවන් හයදෙනෙක් බිහිවී නොමැති බව දැනගත්තේ වෛද්‍ය ටිරාන් ඩයස් මහතා හමුවූ පසුයි. ටිරාන් ඩයස් මහතා නිරන්තරයෙන් අපට අවශ්‍ය උපදෙස් දෙමින් දරුවන්ගේත් මවගේත් ආරක්‍ෂාව තහවුරු කළා.
දරු ප්‍රසූතිය සඳහා වෛද්‍ය උපදෙස් අනුව බිරිඳව සතියකට පෙර රෝහලට ඇතුළත් කළා. ඒ කාලයේදී වෛද්‍යවරුන්, රෝහල් කාර්ය මණ්ඩලය ඇය තුළ විශ්වාසයක් ගොඩනගමින් දරු ප්‍රසූතිය වෙනුවෙන් සූදානම් කළා. රෝහල අපි වෙනුවෙන්ම උපකරණ ඇතුළු යම් යම් දේ සූදානම් කළා. මේ කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. දරුවන් බිහිකරන අවස්ථාවේ මට බිරිඳ අසල ඉන්න ලැබුණා. ඒ වගේම සැත්කමින් පැයකට පසු දරුවන් බලන්නත්, බිරිඳ සමඟ කතා කරන්නත් අවස්ථාව ලැබුණා. සති 31ක් තිස්සේ මගේ බිරිඳ දරාගෙන සිටි බර අද මගේ උරමත තිබෙනවා. මට අවශ්‍ය මගේ දරුවන් රටට යහපත් පුරවැසියන් කරන්නයි. ඒ සඳහා මම උපරිමයෙන් කැපවෙනවා. මේ වෛද්‍යවරුන් මට දෙවිවරුන් වගේ. ඒ වගේම අපිට උදව් කළ අපේ පවුල්වල ඥාතීන්ටත් ස්තුතිවන්ත වෙනවා.”

මෙම බිළිඳුන් නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ සහ ළඳරු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බුද්ධිම ජයසිංහ මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ ළදරු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්වය පිළිබඳව නලීන් ගමඇතිගේ මහතා මෙසේ පැවසීය.

“මේ මව ගැන වෛද්‍ය ටිරාන් ඩයස් මහතා මට කී පසු අපි ඉතා උනන්දුවෙන් මෙම කාර්යයට සූදානම් වුණා. මේ දරුවන් මාස දෙකකට පෙර බිහිකරන්න සිදුවීම නිසා සංකූලතා ඇතිවිය හැකි නිසා එවැනි තත්වයකට මුහුණ දෙන්න අපි සූදානම් වුණා. මේ සිසේරියන් සැත්කම සිදුකිරීම ගැන මීට දින කිහිපයකට පෙර පෙර පුහුණුවක් පවා කළා. ඒ වගේම මෙයට සහභාගී වන සියලු දෙනා සම්බන්ධ කරගෙන සැලසුමක් සකස් කළා. දරුවන් සුරක්‍ෂිතව බලාගැනීමට රෝහලේ කාර්ය මණ්ඩල 40ක් සූදානම් කළා. එක් දරුවකු වෙනුවෙන් එක් වෛද්‍යවරයකු හා හෙදියන් තිදෙනකු බැගින් යොදවා තිබෙනවා. මේ දරුවන්ගෙන් එක් අයකුට ස්වසන ආධාරක ලබාදී ඇතත්, අනෙක් දරුවන් තනිවම හුස්ම ගන්නවා. ඔවුන් තවත් සති දෙකක් තුනක් පමණ ළදරු දැඩි සත්කාර ඒකකයේ තබන්නට සිදුවේවි.”

නයින්වෙල්ස් රෝහලේ වෛද්‍ය අධ්‍යක්‍ෂ හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වෛද්‍ය විභාෂ් විජේරත්න මහතා මෙහිදී මෙසේ සඳහන් කළේය.
“ටිරාන් ඩයස් මහතා මේ දරු ප්‍රසූතිය පිළිබඳ කී සැණින් අපි රෝහලක් ලෙස දරුවන් සය දෙකනුට අවශ්‍ය විය හැකි යන්ත්‍ර, උපකරණ ආදී සියල්ල සූදානම් කළා. ඒ වෙනුවෙන් අපි මිලියන ගණනක මුදල් යෙදවූවා. මෙරට පළමු සය නිවුන් දරු උපත ඉතා සාර්ථකව සිදුකරන්න අපිට අවශ්‍ය වුණා. අපි තවමත් මේ වෙනුවෙන් දැරූ වියදම ගණනය කර නැහැ. ඉදිරියටත් සති කිහිපයක් අපට මේ මව හා දරුවන් රැකගන්න සිදුවෙනවා. අපි දැනට මේ වියදම ගැන පීඩනය මවටත්, පියාටත් දැනෙන්නට දී නැහැ.”

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS