ඉක්මනින් පැතිරෙන කොරෝනා විකෘති



ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් ලක්ෂ 3 පසු කරද්දී, රෝහල් සහ ආසාහනාගාර මළමිනීවලින් පිරී යද්දී, කොරෝනා වයිරසයේ බිහිසුණු බව යළිත් වරක් ලොවට අවබෝධ වී තිබේ. කොරෝනා වයිරසය ආරම්භ වූයේ චීනයෙනි.

වයිරස ද ඇසට නොපෙනන කුඩා ජීවියෙකි. අප වයිරස විනාශ කිරීමට උත්සාහ ගනිද්දී වයිරස සැමවිටම උත්සාහ ගන්නේ දිවි රැක ගැනීමටය. ඒ අනුව වයිරස වෙනස් වෙයි. අද ඉන්දියාවේ කොරෝනා ඉහවහා ගොස් ඇත්තේ විකෘති ප්‍රභේද දෙකක් නිසාය. ඒවා ද්විත්ව කොරෝනා විකෘතියක් සහ ත්‍රිත්ව කොරෝනා විකෘතියකි.

කලින් කී ලෙසින් කොරෝනා විකෘති වයිරස ප්‍රභේද නිර්මාණය වන්නේ දිවි රැක ගැනීමටය. සරලව කීවොත් එන්නත්වලින් බේරීමටය. මේ වනවිට කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට එන්නත් කීපයක් නිර්මාණය වී ඇති අතර, ඒවා ලෝකවාසීන්ට ලැබෙමින් පවතී. ඒ අතරින් ප්‍රධාන එන්නත් දෙකක් වන්නේ 'ෆයිසර්' සහ 'මොඩර්නා' ය. මේවා ඇමෙරිකන් එන්නත්ය.

'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' සහ 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නත් නිසා රුධිරය කැටි ගැසීමේ අවදානමක් පැවැතියත්, ඒවා ද ලබා දීම සිදුවෙයි. ඒ, හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට උපදෙස් ලබා දෙමිනි. ඊට අමතරව රුසියාවේ 'ස්පුට්නික්' සහ චීනයේ 'සිනොෆාම්' එන්නත් ද ලොව රටවල් රැසක භාවිතයට ගැනෙයි.

දකුණු අප්‍රිකාවෙන් පළමුවෙන් හඳුනාගත් විකෘති වයිරස ප්‍රභේදය නම් කර ඇත්තේ 'බී.1351' යන නමිනි. 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නතට මෙය අඩපණ කළ නොහැකි බව පැවැසෙයි. එහෙයින්, දකුණු අප්‍රිකානුවන්ට ලබා දෙමින් පවතින්නේ 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නතය.

මහා බ්‍රිතාන්‍යයෙන්, හරියටම කීවොත්, එංගලන්තයේ කෙන්ට් පළාතෙන් පළමුවෙන් හඳුනා ගත් විකෘති වයිරස ප්‍රභේදය වන්නේ 'බී.1.1.7' ය. අප ශ්‍රී ලංකාවේ ආසාදිතයන් හිටහැටියේ වැඩි කිරීමට හේතුවක් වී ඇතැයි පැවැසන්නේ ද මෙම විකෘතියයි. මෙය වයිරස විෂබීජ වාතයේ දිගු කාලයක් රැඳී පවතී. එය වාතයෙන් බෝ වෙනවා යැයි පැවැසෙන්නේ ද ඒ නිසාය.

ඉන්දියාවේ පැතිර යන කොරෝනා ද්විත්ව විකෘතිය ආසාදනය වැළැක්වීමට එරට 'භාරත් බයෝටෙක්' ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති 'කොවැක්සින්' එන්නතට හැකියාව ඇතැයි පර්යේෂකයෝ පෙන්වා දෙති. 'කොවැක්සින්' යනු සියයට සියයක් ඉන්දීය තාක්ෂණය භාවිතයට ගනිමින් නිපදවා ඇති කොරෝනා ආසාදනය වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නතය. මෙම එන්නතට අඩපණ කළ හැකි යැයි පැවැසෙන්නේ බී 1.617 නමැති ඉන්දීය කොරෝනා වයිරස විකෘති ප්‍රභේදයයි.

මේ වනවිට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු එරට මැති ඇමැතිවරුන් ලබාගෙන ඇත්තේ ද මෙම 'කොවැක්සින්' ප්‍රතිශක්තිකරණ එන්නතය. මෙම 'කොවැක්සින්' එන්නත ලබා ගත් ඉන්දියානුවන් බොහෝ දෙනකුට කොරෝනා ආසාදනය වී නොමැති බව ද පැවැසෙයි. කොරෝනා ආසාදිතයකු වූ නමුත්, ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන 88 හැවිරිදි මන්මෝහන් සිං අසාධ්‍ය තත්ත්වයකට පත් නොවී සුවය ලැබීමට හේතුවක් වූයේ ද ඔහු මෙම 'කොවැක්සින්' එන්නතේ මාත්‍රා දෙකම ලබා සිටි නිසා යැයි වෛද්‍යවරු පැහැදිලි කරති.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS