කොරියාවෙන් පී.සී.ආර්. කට්ටල



කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය හරහා ඇ.ඩො. 450,000 ක වටිනාකමින් ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් අට කෝටි අනූ හත් ලක්ෂ තිස් දහස් හාරසිය පහක මුදලක් ) යුත් පීසීආර් පරීක්ෂණ කට්ටල සහ වේගවත් පරීක්ෂණ සඳහා වන පීසීආර් යන්ත්‍ර පහක් ද ඇතුළත් උපකරණ තොගයක් දකුණු කොරියා රජය මෙරටට පරිත්‍යාග කර ඇතැයි විදේශ අමාත්‍යාංශය කියා සිටී.

කොරියානු රජය පිරිනැමූ  මෙම වෛද්‍ය උපකරණ තොගය   ශ්‍රී ලංකාවේ සිටින කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සංකේතාත්මකව විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාට භාර දෙන ලදි.

ඉන් අනතුරුව එය ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එම්.එස්. කේ. රත්නායක මහතා වෙත භාරදෙන ලදී.
කොරියා රජය මෙම නොමසුරු දායකත්වය ලබා දෙන ලද්දේ මින් පෙර පිරිනැමූ කොවිඩ්-19 ආශ්‍රිත වෛද්‍ය උපකරණ පරිත්‍යාගයට අමතරවය.

ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර මිත්‍රත්වය සහ සහයෝගීතාවය මත කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වූ දා පටන් කොරියානු ජනරජය ශ්‍රී ලංකාවට කොවිඩ්-19 වසංගතයට අදාළව වටිනා ආධාර ප්‍රදානය කළ බවද විදේශ අමාත්‍යාංශය සදහන් කරයි.

මේ අතර ඕමාන් සුල්තාන් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා  මෙරට කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැඩි සත්කාර ඒකක ඇඳන් ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක්ද පරිතයාග කළ බව එම අමාත්‍යාංශය කියා සිටී.

රෝහල්වලට බෙදාහැරීමට නියමිත මෙම පරිත්‍යාගය සඳහා ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයන්ගේ සහෝදරත්වය, බැංකුකරුවන් හා ඕමානයේ වෙසෙන අනෙකුත් වෘත්තිකයන්‍ විසින්  දායකත්වය ලබා දෙන ලදී.

මෙම පරිත්‍යාගය විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා එම පරිත්‍යාගය ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමාට සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ. රත්නායක මහතාට භාර දුන්නේ ය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS