අක්තපත්‍ර පිළිගන්වයි



චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා මහජන චීන සමූහාණ්ඩාවේ ජනාධිපති ෂී ජින්පිං වෙත බීජිංහි මහජන ශාලාවේදී ඉකුත් දා (14) සිය අක්තපත්‍ර පිළිගැන්වීය.

මෙම අක්තපත්‍ර පිළිගැන්වීමත් සමඟ ආචාර්ය කොහොන මහතා චීනයේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයා ලෙස චීන රාජ්‍ය නායකයා විසින් නිල වශයෙන් පිළිගත් අතර හිටපු තානාපතිවරයා නැවත කැඳවීමේ ලිපිය ද එහිදි විධිමත් ලෙස භාර දුන්නේය.

චීනය කොවිඩ්-19 තර්ජනය බොහෝ දුරට ජයගෙන ඇතත්, මෙම අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව නව ආකෘතියකට අනුව පවත්වන ලදී. අක්තපත්‍ර පිළිගැන්වීමට පෙර තානාපතිවරුන් 30 දෙනෙකු සහ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතවරයා රාජ්‍ය අමුත්තන්ගේ නිවාසයේ සිට මහජන මහා ශාලාව වෙත චාරිත්‍රානුකූලව කැඳවාගෙන යන ලද අතර, අක්තපත්‍ර පිළිගැන්වීමට පළමුව ඔවුන්ට ගෞරව පිණිස ආචාර පෙළපාලියක් පවත්වන ලදී.

වසංගතයේ මුල් අවධියේ දී මිත්‍රශීලී රටවල් ලබා දුන් සියලු සහාය සඳහා චීනය කෘතඥ වන බව අක්තපත්‍ර පිළිගැනීමෙන් පසුව ජනාධිපති ෂී ජින්පිං නව තානාපතිවරුන් අමතමින් පැවැසීය. චීනය සිය කාර්යභාරය ලෙස රටවල් 80 කට අධික සංඛ්‍යාවකට සහ ජාත්‍යන්තර සංවිධානවලට එන්නත් සහ වෙනත් ආධාර ලබා දී ඇතැයි ද ජනාධිපතිවරයා කීය.

ආචාර්ය කොහාන මහතා 2020 දෙසැම්බර් මස මැද භාගයේ දී බීජිං වෙත පැමිණ, මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයා ලෙස සිය රාජකාරි භාර ගත්තේය.

අක්තපත්‍ර පිළිගැන්වීමෙන් පසුව තානාපති කාර්යාලයට නැවත පැමිණීමේ දී, තානාපති ආචාර්ය කොහොන මහතා තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩලය විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබිණි.


RECOMMEND POSTS