සිනොවැක් එන්නතට අනුමැතිය



චීනයේ සිනෝවැක් බයෝටෙක් සමාගම නිෂ්පාදනය කර ඇති ‘කොවිඩ්-19’ එන්නතට හදිසි භාවිතය සඳහා ඊයේ (1) ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවිය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වූ දෙවැනි චීන එන්නත වන්නේ මෙය වේ. මෙම එන්නතට අනුමැතිය හිමි වීමත් සමඟ දුප්පත් රටවලට එන්නතා බෙදාහැරීමට තවදුරටත් අවස්ථාව උදා වනු ඇත.

එන්නත්වලට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය හිමිවීම තුළින් එහි සාමාජික රටවලට සිය රටවල තිබෙන නියාමන අධිකාරීන් තුළින් එන්නත්වල ආරක්ෂාව සහ ඒවායේ සාර්ථකත්වය සම්බන්ධයෙන් සහතියක් හිමි වේ.

සිනෝවැක් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවීමත් සමඟ එය එම සංවිධානයේ ‘කොවැක්ස්’ වැඩසටහනට ද ඇතුළත් වේ. ‘කොවැක්ස්’ යනු ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් කෙරෙන ගෝලීය එන්නත් වැඩසටහන වන අතර දුප්පත් රටවලට ප්‍රමාණවත් පරිදි එන්නත් මාත්‍රා ලබාදීම මෙහි මූලික අරමුණක් වේ.

ඉන්දියාව එන්නත් අපනයන සීමා කිරීමත් සමඟ මෙම වැඩපිළිවෙළ අර්බුදයට ලක්ව තිබේ.

වයස අවුරුදු 18ට වැඩි අයට සිනොවැක් ‘කොවිඩ්-19’ එන්නත ලබාදීම නිර්දේශ කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්වාධීන විශේෂඥ කමිටුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. මෙම එන්නත ලබාදිය ඉහළ වයස් සීමාවක් සඳහන් කර නැති අතර වැඩිහිටියන්ට මෙයින් වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කරනු ඇතැයි පැවසේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික උපදේශන කමිටුව මැයි මස 5 වැනිදා සිට රැස්වෙමින් මෙම එන්නත සම්බන්ධයෙන් අධ්‍යයනය කළේය. සිනෝවැක් එන්නත ආරක්ෂාව සහ සාර්ථකත්වය සම්බන්ධයෙන් එහි සායනික දත්ත අධ්‍යයනය කළ විශේෂඥ කමිටුව අදාළ සමාගමේ නිෂ්පාදන පිළිවෙත් ද විමසා බලා ඇත.

විශේෂඥ කමිටුවේ තීරණය ඉතාම සතුටින් පිළිගන්නා බවත් එන්නත ආරක්ෂිත සහ සාර්ථක බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් ගේබ්‍රියේසස් සඳහන් කළේය. මෙම එන්නත පහසුවෙන් ගබඩා කළ හැකි වීම අඩු ආදායම් රටවලට මෙම එන්නත ලබාදීම පහසුවක් වනු ඇතැයි පැවැසීය.


RECOMMEND POSTS