බොල්සොනාරෝ බ්‍රසීලය ගිනි තියයි



බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සොනාරෝගේ ආධාරකරුවෝ දහස් ගණනක්, ප්‍රචණ්ඩ ලෙස හැසිරෙමින්, එරට කොංග්‍රස් ගොඩනැගිල්ලට (පාර්ලිමේන්තුවට), ජනාධිපති මන්දියට සහ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට කඩා වැදුණාහ.

බ්‍රසීල ජනාධිපතිවරණය පසුගිය 2022 ඔක්තෝබරයේ පැවැත්වුණු අතර, බොල්සොනාරෝ එයින් පරාජයට පත් වුණු අතර තියුණු සටනකින් ජය හිමිකර ගත්තේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා ය.

බොල්සොනාරෝ ජනාධිපතිවරණ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ බ්‍රසීලයේ දේශපාලන අර්බුදයක් නිර්මාණය විය. ලූලා ද සිල්වා බලයට පත්වීම වැළැක්වීමට බොල්සොනාරෝ බ්‍රසීල හමුදාවේ ද සහාය ඉල්ලා සිටියේය. ඒ අනුව, හමුදා කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ද බියක් හට ගත්තේය.

කෙසේ නමුත් හමුදාවේ මැදිහත් සිදු නොවුණු බැවින්, පසුගිය ජනවාරි දෙවැනිදා, 77 හැවිරිදි ලූලා ද සිල්වා බ්‍රසීල ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය. ලූලා ද සිල්වා දිවුරුම් දෙද්දී, බොල්සොනාරෝ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට ගොස් සිටියේය.

විරෝධතා ආරම්භ වී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙද්දී ද බොල්සොනාරෝ සිටියේ ඇමෙරිකාවේය. විරෝධතා ආරම්භ වූයේ ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් ලූලා ද සිල්වා ජනාධිපති මන්දිරයට යෑමත් සමඟය.

බොල්සොනාරෝගේ ජනාධිපති මන්දිරයට කඩාවදිද්දී, ලූලා ද සිල්වා ජනාධිපති මන්දිරයේ සිටියේ නැත. ඒ වනවිට ආරක්ෂක නිලධාරීන් ජනාධිපතිවරයා සාඕ පාවුලෝ නගරයට ගෙන ගොස් තිබුණි.

බොල්සොනාරෝගේ ආධාරකරුවන් 3,000 කට වැඩි පිරිසක්  පොලිස් විරෝධය නොතකා ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින්, පාර්ලිමේන්තුවට, ජනාධිපති මන්දිරයට සහ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට කඩා වැදී පහර දෙන්න වූයේ බොල්සනාරෝගේ උසි ගැන්වීමෙන් ලූලා ද සිල්වා චෝදනා නගා තිබේ. කලහකාරීන් මර්දනයට පොලිසිය පමණක් නොව හමුදාව ද කැඳවිණි.

කලහකාරීන් විසුරුවා හැරීමට රබර් උණ්ඩ සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කෙරුණි. එසේ ප්‍රහාර එල්ල වෙද්දී නලහකාරීන් සහ පොලිසිය අතරේ දරුණු ගැටුම් හට ගැණුනි. ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු බොල්සනාරෝගේ ආධාරකරුවන් සිය ගණනක් දෙනා පොලිස් අත්අඩංගුවට පත්වුණු බවත්, පොලිසිය සමඟ ගැටුණු කීප දෙනකු මියගිය බවත් බ්‍රසීල මාධ්‍ය වාර්තා කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS