බ්‍රිතාන්‍ය වැසියන් බියෙන්



එක්සත් රාජධානියේ ජනතාව බියට පත්ව හදිසියේ පෙට්‍රල් රැස් කිරීමත් සමඟ පෙට්‍රල් හිඟයක් ඇති වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ජනතාව පෝලීම් ගැසී සිය මෝටර් රථවල ටැංකි පෙට්‍රල්වලින් පුරවා ගැනීමට ක්‍රියා කිරීමත් සමඟ මෙම අර්බුදය නිර්මාණය වී තිබේ.

ඉන්ධන හල් ආසන්නයේ දිගු පෝලීම් තිබෙන අයුරු දැක්වෙන ඡායාරූප රැසක් විදෙස් මාධ්‍ය පළ කර තිබිණි.

කිසිදු පෙට්‍රල් හිඟයක් නැති බවත් ජනතාව සාමාන්‍ය පරිදි පෙට්‍රල් පරිභෝජනය කළ යුතු බවත් තෙල් සමාගම් මෙන්ම ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිපදෙනකුම පසුගිය දින කිහිපයේදී ප්‍රකාශ කර ඇත.

කෙසේ නමුත් ජනතාව එම ප්‍රකාශ නොතකා දිගු පෝලීම්වල සිටිනු දක්නට ලැබිණි.

ඇතැම් ඉන්ධනහල් අසල ගැටුම් ඇති වූ බව ද ඇතැම් පිරිස්වල ඉන්ධනහල්වල සේවකයන්ට පහර දී ඇතැයි ද වාර්තා වේ.

දිනකට පෙට්‍රල් ලීටර 20,000ත් 30,000ත් අතර ප්‍රමාණයක් අලෙවි වන ඉන්ධන හල්වල පැය 24ක් ඇතුළත් පෙට්‍රල් ලීටර් 100,000ක් අලෙවි වී ඇතැයි ද වාර්තා වේ.

“කිසිදු ඉන්ධන හිඟයක් නැහැ. ජනතාව සාමාන්‍ය පරිදි ඔවුන්ගේ පරිභෝජන කටයුතු පවත්වාගෙන යා යුතු යි. ජාතික වශයෙන් කිසිදු ඉන්ධන හිඟයක් නැහැ. කොහොම නමුත් ජනතාව මේ විදියට වැඩි වශයෙන් පෙට්‍රල් මිලදී ගැනීම නිසා ඇතැම් ඉන්ධන හල්වල මේ වෙද්දි ඉන්ධන හිඟයක් ඇති වෙලා” යැයි ෂෙල්, එක්සන්මොබිල්, ග්‍රීනර්ජි යන තෙල් සමාගම් සඳහන් කරයි.

ඉල්ලුම වැඩි වීම නිසා ඇතැම් ඉන්ධන හල් වසා දැමීමට සිදුව ඇතැයි ද වාර්තා වේ.

මෙම අර්බුදයෙන් වැඩි වශයෙන් බලපෑමට පත්ව ඇත්තේ බ්‍රිතාන්‍යයේ නාගරික ප්‍රදේශවල සිටින ජනතාව ය. කෙසේ නමුත් මෙම අර්බුදයෙන් උතුරු අයර්ලන්තයට බලපෑමක් සිදුව නැත.

එක්සත් රාජධානිය තුළ පෙට්‍රල් හිඟයක් නොමැති වුවත් ලොරි රථ රියදුරන්ගේ හිඟයක් නිර්මාණ වී තිබේ.

පෙට්‍රල් අර්බුදය නිර්මාණය වීමට ද හේතු වී ඇත්තේ මෙය යි.

ලොරි රථ රියදුරන්ගේ හිඟය නිසා තමන්ට අයත් ඉන්ධන හල් කිහිපයක් තාවකාලිකව වසා දැමීමට සිදුවන බව බී.පී. තෙල් සමාගම පසුගිය සතියේ දී සඳහන් කළේ ය. තවත් තෙල් සමාගම් කිහිපයක්ම මෙම අර්බුදයට මුහුණ දී සිටියි.

එක්සත් රාජධානිය තුළ මේ වනවිට ලොරි රථ රියදුරන් 100,000ක පමණ හිඟයක් නිර්මාණය වී තිබේ. මේ හේතුවෙන් සුපිරි වෙළෙඳ සැල්, ආහාර ජාල, යනාදී කර්මාන්ත රැසකට බලපෑම් එල්ල වී තිබේ.

එක්සත් රාජධානිය තුළ පමණක් නොව යුරෝපය තුළ බරැති භාණ්ඩ ප්‍රවාහන (එච්.ජී.වී.) ලොරි රථ රියදුරන්ගේ හිඟයක් නිර්මාණය වී තිබේ. මෙයින් වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන්නේ එක්සත් රාජධානියට ය.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් ලොරි රථ රියදුරන් රැසක් ඔවුන්ගේ රටවලට පිටව ගොස් ඇති අතර  නැතහොත් වෙනත් රැකියාවලට යොමු වී ඇත. විශේෂයෙන්ම දේශසීමාවලදී අමතර ගාස්තු ගෙවීමට සිදුවීම, නිලධාරීවාදය, යනාදී කරුණු හේතුවෙන් බරැති භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ රියදුරන්ගේ හිඟයක් නිර්මාණය වී තිබේ.

කොවිඩ්-19 වසංගතයත් සමඟ එම අර්බුදය උග්‍ර වී තිබේ. නිවෙස් බලා ගිය බොහෝ ලොරි රථ රියදුරන් නැවතත් සේවයට පැමිණ නැත.  

(බී.බී.සී.)


RECOMMEND POSTS