නත්තල් වෙද්දී ස්ථාවර රජයක් පිහිටුවනවා



නත්තල වනවිට ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවන බව ජර්මානු මැතිවරණයෙන් ජයගත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඔලාෆ් ෂෝල්ස් පවසයි.

තියුණු සටනකින් පසු ඇන්ගෙලා මර්කල්ගේ ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික් යූනියන් (සී.ඩී.යු.) පක්ෂය පරාජයට පත් කරමින් මැතිවරණයෙන් ජය ලැබී ය.

යුරෝපා සංගමය ශක්තිමත් කරන බවත් ට්‍රාන්ස් අත්ලාන්තික සහයෝගීතාව තවදුරටත් පවත්වාගෙන යන බවත් ඒ තුළින් තුන් ආකාරයක සන්ධානයන් ස්ථාපිත කරන බවත් හෙතෙම මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඔලාෆ් ෂෝල්ස් පැවැසීය.

ට්‍රාන්ස් අත්ලාන්තික් සහයෝගීතාව යනු ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය අතර ඇති කරගෙන ඇති ට්‍රාන්ස් අත්ලාන්තික් වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාවය (ටී.ටී.අයි.පී.) යි.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී (එස්.පී.ඩී.) පක්ෂය ආණ්ඩුවක නායකත්වය හොබවන්නේ 2005 වසරෙන් පසුව ය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ග්‍රීන්ස් සහ ෆ්‍රී ඩිමොක්‍රට්ස් (එෆ්.ඩී.පී.) යන පක්ෂ දෙක සමඟ එක්ව සන්ධානයකින් මෙවර මැතිවරණයට ඉදිරිපත් විය.

සන්ධාන ආණ්ඩුවක් සඳහා තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන අතර මේ හේතුවෙන් ජර්මනිය තුළ යම් අස්ථාවරත්වයක් ද නිර්මාණය වී තිබේ.

“ජර්මනියේ සෑම විටම තිබ්බේ සන්ධාන ආණ්ඩු. ඒවා සෑම විටම ස්ථාවරව පැවැතියා” යැයි ෂෝල්ස් අවධාරණය කළේය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී (එස්.පී.ඩී.) පක්ෂය යනු ජර්මනියේ පැරැණිතම දේශපාලන පක්ෂ යි. මැතිවරණයේ දී එස්.ඩී.පී. පක්ෂය සියයට 25.7ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගැනීමට සමත් විය. එය ඔවුන් 2017 වසරේ පැවැති ෆෙඩරල් මැතිවරණයෙන් ලබාගත් ඡන්ද ප්‍රතිශතයට වඩා සියයට 5ක ප්‍රතිශතාත්මක වැඩි වීමකි.

ඇන්ගෙලා මර්කල්ගේ ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික් යූනියන් (සී.ඩී.යු.) පක්ෂය, ක්‍රිස්ටියන් සෝෂල් යූනියන් (සී.එස්.යු.) පක්ෂය සමඟ එක්ව තරග වැදුණු අතර ඔවුන් සියයට 24.1ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන ඇත. මෙම පක්ෂ දෙකේ හවුල කන්සවටිව් නැතිනම් මධ්‍යස්ථ මතධාරී හවුලක් ලෙස පිළිගැනේ.

ග්‍රීන්ස් පක්ෂය සියයට 14.8ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගත් අතර ෆ්‍රී ඩිමොක්‍රට්ස් (එෆ්.ඩී.පී.) පක්ෂය සියයට 11.5 ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගැනීමට සමත් විය. ෆ්‍රී ඩිමොක්‍රට්ස් (එෆ්.ඩී.පී.) ලිබරල් මතධාරී පක්ෂයකි.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී (එස්.පී.ඩී.) පක්ෂය මැතිවරණයෙන් ජය ලැබීමත් සමඟ යුරෝපය පුරා මධ්‍යස්ථ මතධාරී වාමාංශික පක්ෂ ජය ලැබීමේ ප්‍රවණතාවක් ද පෙන්නුම් කරයි. යුරෝපය පමණක් නොව ඇමෙරිකාවේදී ද එම තත්ත්වය දැක ගන්නට ලැබිණි. ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජෝ බයිඩන් ඉන් ජය ලැබී.

මේ වසර මුලදී නෝර්වේ හි පැවැති මහ මැතිවරණයෙන් එරට විපක්ෂය වූ මධ්‍යස්ථ මතධාරී වාමාංශික පක්ෂයක් යන ලිබරල් පක්ෂය ජය ලැබීය.

(රොයිටර්)


RECOMMEND POSTS