ඉන්දියාවේ ’කොවිඩ් 19’ ආසාදිතයන් වැඩිවෙලා



ඉන්දියාවේ දෛනික 'කොවිඩ් 19' ආසාදිතයන් යළි ඉහළ ගිය බවත්, ඊයේ (26) දිනයේ 'කොවිඩ් 19' ආසාදිතයන් 30,000 ඉක්මවා වාර්තා වූ බවත් සෞඛ්‍ය අංශ පවසයි.

ඉන්දියාවේ මේ අයුරින් 'කොවිඩ් 19' ආසාදිතයන් යළි 30,000 සිමාව පසු කරමින් වාර්තා වූයේ දින 132 කට පසුව යැයි ද පැවැසෙයි. ඊයේ (26) දිනයේ ඉන්දියාවෙන් වාර්තා වූ මරණ ගණන 415 කි.

ඉන්දියාවේ ආසාදිතයන් වැඩිවීමට හේතුවක් වූයේ 'ඩෙල්ටා' විකෘති ප්‍රභේදයයි. 'ඩෙල්ටා' විකෘතියේ ආරම්භ සිදුවූයේ ද ඉන්දියාවෙනි. ඉන්දීය සෞඛ්‍ය බලධාරීන්ට අනුව මේ වනවිට ඉන්දියාව මුහුණ දෙන්නේ දෙවැනි කොරෝනා රැල්ලටය. ඉන්දීය සෞඛ්‍ය අංශ බිය පළ කර ඇත්තේ අගෝස්තු අවසන් වෙද්දී ඉන්දියාවේ තෙවැනි කොරෝනා රැල්ල ආරම්භ වනු ඇති බවය.

මීට මාස කීපයකට පෙර ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය දරුණු වෙද්දී, එරටින් දෛනික ආසාදිතයන් 90,000 පසු කර වාර්තා විය. පසුව එය කෙමෙන් කෙමෙන් 10,000 තෙක් පහළ වැටුණි.

ඒ, ප්‍රාන්ත මට්ටමින් ලොක්ඩවුන් තහංචි පැනැවීම නිසාය. ලොක්ඩවුන් කළ ප්‍රාන්ත මේ වනවිට යළි සෙමින් සෙමින් විවෘත කර තිබේ. ආගමික සැණකෙළි පවා ආරම්භ කර ඇති අතර සෞඛ්‍ය බලධාරීන් සැමවිටම උපදෙස් දී ඇත්තේ ආගමික උත්සව හැකිතාක් අවලංගු කරන ලෙසය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS