9/11 ප්‍රහාරයෙන් මියගිය අය සිහි කෙරේ



මීට වසර 20 කට පෙර එනම්, 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වුණු අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ඇමෙරිකානුවන් සිහි කිරීම ඊයේ (11) සිදුවිය.

විසි වසරකට පෙර සිදුවුණු එම 9/11 ප්‍රහාරයෙන්, මියගිය ගණන 3,000 කට ආසන්නය. ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වයෙන් යුත් අල් කයිඩාව එම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළේ ඇමෙරිකන් මගී ගුවන් යානා 4 ක් පැහැරගෙන ඒවා නිව්යෝක් ලෝක වෙ‍ෙළඳ මධ්‍යස්ථාන කුලුනු ගොඩනැගිලි දෙකෙහි සහ ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයේ හැපෙන්න සලස්වමිනි.

සිවුවැනි යානයේ ඉලක්කය වූයේ වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් ගොඩනැගිල්ල හෝ ධවල මන්දිරය යැයි පැවැසෙයි. කෙසේ නමුත් එම යානයේ නියමුවන් සහ මගීන්, යානය පැහැරගත් ත්‍රස්තවාදීන්ට එරෙහිව වූ බැවින් යානය පෙන්සිල්වේනියා ජනපදයේ ෂැංක්විල් හිස් ඉඩමකට කඩා වැටුණි. එයින් යානයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට පත් විය. 9/11 ප්‍රහාරයට ත්‍රස්තවාදීන් 19 දෙනකු සම්බන්ධ වූ අතර ඔවුන් කවුරුන්දැයි අනාවරණය කර ගැනීම ද සිදුවිය.

9/11 ප්‍රහාරයෙන් මියගිය ඇමෙරිකානුවන් සිහිපත් කිරීමේ සැමරුම ආරම්භ වූයේ නිව්යෝක් නුවරන් ඊයේ (11) උදෑසන 8.46 ටය. රැස්වුණු සියලු දෙනා මිනිත්තුවක නිෂ්ශබ්දතාව රකිමින් ගෞරව දැක්වූ බව පැවැසෙයි. ත්‍රස්තයන් පැහැරගත් පළමු මගී යානය නිව්යෝක් ලෝක වෙ‍ෙළඳ මධ්‍යස්ථාන කුලුනු ගොඩනැගිලි දෙකෙන් එකක ගැටුනේ උදෑසන 8.46 ටය. දෙවැනි යානය ඉතිරි ගොඩනැගිල්ලේ හැපුණේ ඊට විනාඩි 17 කට පසුවය.

වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ උප ජනාධිපතිනී කමලා හැරිස්, නිව්යෝක් නුවර, පෙන්ටගනයේ මෙන්ම පෙන්සිල්වේනියා ජනපදයේ ෂැංක්විල් හි පැවැති සැමරුම්වලට සහභාගී වූහ. ඊට අමතරව, හිටපු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා සහ බිරිඳ මිෂෙල් ඔබාමා ද, හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ද සැමරුම් සඳහා සහභාගී වූහ.

9/11 ප්‍රහාරය සැලකෙන්නේ ලොව බිහිසුණුම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙසය. ඔසාමා බින් ලාඩන් එම ප්‍රහාරය මෙහෙයවීම කළේ ඇෆ්ගනිස්තානයේ සිටය. ඔහුටත් අල් කයිඩාවටත් එදා පැවැති තලේබාන් ත්‍රස්ත සංවිධානයේ සහායත් රැකවරණත් හිමිවිය.
2001 දෙසැම්බරයේ ජනාධිපති ජෝර්ජ් බුෂ්ගේ අණ පරිදි ඇමෙරිකාව ඇතුළු නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය පෙරළා එරට ආක්‍රමණය කළේ ඉන්පසුවය.

වසර 20 ක් පුරා පැවැති, ඇෆ්ගනිස්තානයේ 'ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය' මේ වනවිට අවසන් වී ඇති අතර ඇමෙරිකා හමුදා ආපසු ගෙන්වා ගැනීමට වත්මන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කර තිබේ. විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමත් සමඟ තලේබාන්වරු යළි එරට බලය අල්ලා ගත්හ.

ඇමෙරිකන් හමුදා අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සොයා මරා දැම්මේ 2011 වසරේදීය. ඒ සමඟ අල් කයිඩා සංවිධානය ද අඩපණ විය. අද ලොව බිහිසුණුතම ත්‍රස්ත සංවිධානයක් ලෙස සැලකෙන්නේ අයි.එස්.අයි.එස්. සංවිධානයයි.

(රොයිටර්)


RECOMMEND POSTS