මුල්ම පදක්කම චීනයට



ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලෙ දී ප්‍රථම රන් පදක්කම හිමි කරගැනීමට චීනයේ කියැං යැංග් සමත් වූවාය. තියුණු තරගයකින් පසු 21 හැවිරිදි කියැං යැංග් රන් පදක්කම හිමිකර ගත්තේ මීටර් 10 වායු රයිෆල් කාන්තා තරඟ ඉසව්වේදී රුසියානු ක්‍රීඩිකා ඇනස්ටේෂියා ගලෂිනා පරාජයට පත් කරමිනි.

තරග ඉසව්වේ තෙවැනි ස්ථානයට පත් වූයේ ලෝකඩ පදක්කම හිමිකරගත් ස්විට්සර්ලන්ත ක්‍රීඩිකා නීනා කර්ස්ටන්ය. 'කොවිඩ් 19' වංගතය හේතුවෙන් තරග ඉසවු පැවැත්වෙන්නේත් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් පිරිනැමීම සිදුවන්නේත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුවය. ඒ අනුව පදක්කම්, ජයග්‍රාහකයන්ට ලබා දෙනවා මිස, මෙම ඔලිම්පික් උළෙලේදී ඒවා පැලදීමක් සිදු වන්නේ නැත.

කාන්තා මීටර 10 වායු රයිෆල් වෙඩි තැබීමේ ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙලට එම වටයට සහභාගී වූ ක්‍රීඩිකාවන් 50 දෙනා අතරින් හිමිවූයේ 49 වැනි ස්ථානයයි.

සුදුසුකම් ලබාගැනීමේ වටයේදී ටෙහානි එගොඩවෙල ලකුණු 611.5 ක් හිමිකර ගත්තාය. ඇයට එම ඉසව්වේ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට හැකිවූයේ නැත. මීටර 10 කාන්තා වායු රයිෆල් වෙඩි තැබීමේ ඉසව්වේ අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ක්‍රීඩිකාවන් 8 දෙනකු පමණි.

32 වැනි ඔලිම්පික් උළලේ සමාරම්භක උත්සවය ජපානයේ ටෝකියෝ නුවරදී ඊයේ (23) ආරම්භ වූයේ ජපාන සංස්කෘතික අංගවලට මුල්තැන දෙමිනි. දින 17ක් පුරා පැවැත්වෙන ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩා 33ක් යටතේ තරග ඉසව් 339 පැවැත්වීමටත් නියමිතය.

ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනකු සහභාගී වන අතර එම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධනටය. එම කණ්ඩායමේ නායිකාව ලෙස 18 හැවිරිදි ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගිහානි ද සිල්වා කටයුතු කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS