මොස්කව් සමුළුවට තලේබාන් කණ්ඩායමක්



කලාපීය රටවල් 10 ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන්, 'මොස්කව් සමුළුව' රුසියාවේ මොස්කව් අගනුවරදී ආරම්භ විය. රුසියාවේ ආරාධනාව පරිදි, ඇෆ්ගන් තලේබාන් රජයේ නියෝජිත කණ්ඩායමක් ද එම සමුළුවට සහභාගී විය.

ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු, රජයක් පිහිටුවූ තලේබාන්වරුන්, ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වූ පළමු අවස්ථාව මෙයයි. තලේබාන්වරුන් උත්සාහ ගන්නේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සමඟත් කලාපීය සෙසු රටවල් සමඟත් යහපත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීමටය.

'මොස්කව් සමුළුවට' සහභාගී වීමට මොස්කව් අගනුවරට පැමිණි තලේබාන් රජයේ නියෝජිත කණ්ඩායම පිළිගනු ලැබුවේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පත් කර සිටින විශේෂ නියෝජිත සමීර් කබුලෝව් විසිනි. ඇෆ්ගන් තලේබාන් නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ ඇෆ්ගන් තලේබාන් රජයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරය හොබවන අබ්දුල් සලාම් හනාෆි ය.

තලේබාන්වරුන් පිහිටුවා ගත් ඇෆ්ගන් අන්තර්වාර රජය ශක්තිමත් එකක් විය යුතු බවත්, තලේබාන්වරුන් සෙසු රටවල් සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට ගන්නා උත්සාහය /මන් අගය කරන බවත් මොස්කව් සමුළුව ආරම්භයේ දී රුසියන් රජය වෙනුවෙන් එරට විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් පැහැදිලි කළේය.

ඇෆ්ගනිස්තානයේ දේශපාලනික වශයෙන් ස්ථාවරත්වයක් ඇතිවිය යුතු බවත් සුළු ජනකොටස් සහ දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් සැදුම්ලත් ශක්තිමත් ස්ථාවර රජයක් පිහිටුවීමට තලේබාන්වරුන් ක්‍රියා කළ යුතු බවත් සර්ගේ ලැව්රෝව් පෙන්වා දුන්නේය.

සමුළුවට සහභාගි වූ සෙසු කලාපීය රටවල් දහයේ නියෝජිතයන් ද ඒකමතිකව රුසියාවේ අදහස අනුමත කළේය. 'මොස්කව් සමුළුවට' එක් වුණු සෙසු රටවල් වන්නේ චීනය, ඉන්දියාව, පාකිස්තානය, උස්බෙකිස්තානය, ටර්ක්මෙනිස්තානය, ටජිකිස්තානය, කිර්ගිස්තානය සහ ඉරානයයි.

චීනය මේ වනවිටත් ඇෆ්ගන් තලේබාන් රජය සමඟ සාකච්ඡා පවත්වමින් සිටී. ඒ, ඇෆ්ගනිස්තාන වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා සංවර්ධන වැඩසටහන් රැසක් ආරම්භ කිරීමටය. කෙසේ නමුත් චීනය ද පවසා ඇත්තේ තමන්ට ගනුදෙනු කිරීමට නම් ඇෆ්ගනිස්තානයේ ස්ථාවර රජයක් තිබිය යුතු බවය.

ඇෆ්ගන් තලේබාන් රජයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරය හොබවන අබ්දුල් සලාම් හනාෆි මැදිහත්වීමෙන් ඇමෙරිකාව සහ යුරෝපා සංවිධානය සමඟ ද පසුගිය සතියේ සාකච්ඡා පැවැත්විණි. එහිදී ද ඇමෙරිකා රජය සහ යුරෝපා සංගමයේ නියෝජිතයන් පෙන්වා දුන්නේ ශක්තිමත්, ස්ථාවර රජයක් පිහිටුවා, බාලිකා සහ කාන්තා අයිතීන් සුරැකීමට කඩිනමින් පියවර ගන්නේ නම්, ඇෆ්ගන් තලේබාන් රජයට ජාත්‍යන්තරයේ පිළිගැනීමක් කඩිනමින් ලැබෙනු ඇති බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS