විකෘතිය අඩපණ කරන්න ‘ෆයිසර්’ ට පුළුවන්



දකුණු අප්‍රිකාවෙන් හමුවුණු ‘කොවිඩ් 19’ කොරෝනා විකෘතිය අඩපණ කිරීමට ‘ෆයිසර් බයෝඇන්ටෙක්’ එන්නතට හැකියාව ඇතැයි ඊශ්‍රායල විද්‍යාඥයෝ පවසති.

‘ෆයිසර්’ යනු ඇමෙරිකන් ඖෂධ නිෂ්පාදන සමාගමක් වන අතර, ඔවුන් ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වැළැක්වීමට ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවූයේ ජර්මනියේ ‘බයෝ ඇන්ටෙක්’ සමාගම සමඟ එක් වෙමිනි.

මාත්‍රා දෙකකින් සමන්විත ‘ෆයිසර්’ එන්න, සියයට 95 කට වඩා සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව පැවැසෙයි. ඊශ්‍රායලයට එරට වැසියන්ට ලබා දෙන්නේ ‘ෆයිසර්’ එන්නත්ය.

දකුණු අප්‍රිකාවෙන් පළමුවෙන් හමුවුණු විකෘති වයිරස ප්‍රභේදය මේ වනවිට රටවල් රැසකට ව්‍යාප්ත වී ඇත.

මෙම විකෘතිය සාමාන්‍ය කොරෝනා වයිරසය මෙන් නොව, ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙයි. එය සාමාන්‍ය කොරෝනා වයිරසයට වඩා මාරක බව ද පැවැසෙයි.

දකුණු අප්‍රිකාවෙන් හමුවුණු ‘බී1.351’ මෙම කොරෝනා විකෘතිය අඩපණ කිරීමට ‘ෆයිසර්’ එන්නතට හැකි බව අධ්‍යයනය කරමින්, ඒ බව තහවුරු කළේ ඊශ්‍රායල ටෙල් අවීව් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන්ගේ මැදිහත් වීමෙනි.

‘ෆයිසර්’ එන්නතේ මාත්‍රා දෙකම ලබා ගැනීම මගින් දකුණු අප්‍රිකාවේ ‘බී1.351’ විකෘති ප්‍රභේදය ආසාදනය නොවන බව ටෙල් අවීව් විද්‍යාඥයන් තහවුරු කර ඇත්තේ 400 දෙනකු සම්බන්ධ කර ගනිමින් කළ අධ්‍යයනයකින් ද පසුවය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS