ඉන්දියාව බේරා ගැනීමේ වෙඩි මුරය



දිනෙන් දින ඔඩුදුවන කොරෝනා වසංගතය පාලනය කිරීමට කිසිදු උනන්දුවක් නොදක්වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට එරෙහි පළමු වෙඩි මුරය පත්තු කිරීමට බටහිර බෙංගාලය සමත් වුණැයි තව දුරටත් බලයේ රැදී සිටීමට ජන වරමක් හිමිවුණු මහ ඇමැතිනී මමතා බෙනර්ජි කියයි.

ඉන්දියාවේ එකම කාන්තා මහ ඇමැතිනිය ද වන 66 හැවිරිදි මමතා බෙනර්ජි මෙසේ පැවැසුවේ, බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය සමරමිනි. බෙංගාල මැතිවරණය පැවැත් වූයේ පසුගිය මාර්තු 27 වැනිදා සිට අප්‍රේල් 29 තෙක් අදියර 8 කිනි. එහි ප්‍රතිඵල නිකුත් කිරීම ඊයේ (2) සිදුවිය.

බටහිර බෙංගාල ප්‍රාන්ත සභාව ආසන 294 කින් සමන්විත අතර, මමතා බෙනර්ජිගේ ත්‍රිණමූල කොංග්‍රස් පක්ෂය ආසන 200 කට වඩා දිනා ගත්තේය. මමතා බෙනර්ජි ට බෙංගාල මහ ඇමැති ධුරය හිමිවූයේ පිටපිට තෙවැනි වරටය. ලැබූ ජය සමරමින්, මහ ඇමැතිනිය වැඩි දුරටත් කිය සිටියේ, තමාගේත් තම ප්‍රාන්ත රජයේත් ප්‍රධානතම කාර්යය බෙංගාලයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීම යැයි ද මහ ඇමැතිනිය අවධාරණය කළාය.

අග්‍රාමාත්‍ය මෝදිගේ භාරතීය ජනතා පක්ෂය, ත්‍රිණමූල කොංග්‍රස් පක්ෂයට අභියෝග කරමින් මැතිවරණයට ඉදිරිපත් වූයේ, මමතා බෙනර්ජි සමීපතමයන් බොහෝ දෙනකු භාරතීය ජනතා පක්ෂය වෙත හරවා ගනිමිනි. ප්‍රාන්තයේ ජය තහවුරු කර ගැනීමට හැකිවුවත්, මමතාට ඇය නියෝජනය කළ 'නන්දිග්‍රාම්' අසුන අහිමි විය.

'නන්දිග්‍රාම්' අසුන දිනා ගත්තේ, මමතාගේ සමීපතමයා වූත්, පසුව භාරතීය ජනතා පක්ෂයට එක්වූත් සුවෙන්දු අධිකාරි ය. 'නන්දිග්‍රාම්' හි යළි ඡන්ද ගණන් කිරීමක් අවශ්‍ය යැයි මහ ඇමැතිනී මමතා බෙනජ්රි පවසා ඇති අතර, ඔහු ඒ සම්බන්ධයෙන් අධිකරණයේ සහාය පැතූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

 කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි, දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල් සහ සිව්සේනා පක්ෂ සාමාජික මෙන්ම මහාරාෂ්ට්‍රයේ සංචාරක ඇමැතිවරයා ලෙස ද කටයුතු කරන ආදිත්‍ය ටැකරේ ද මමතා බෙනර්ජි ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පතමින් ට්විටර් පණිවුඩ නිකුත් කර තිබේ.

හින්දු ජාතිකවාදී මෝදි, ත්‍රිණමූල් කොංග්‍රස් පක්ෂය අඩපණ කිරීමට ගත් උත්සාහය බෙංගාල වැසියන් විසින් පරාජය කරනු ලැබුවේ යැයි ආදිත්‍ය ටැකරේ පවසා ඇත.

තියුණු සටනකින් පසු අති විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සමත් වුණු මමතා බෙනර්ජි ට මා සුබ පතනවා යැයි අරවින්ද් කෙර්ජිවාල් සිය ට්විටර් පණිවුඩය හරහා පවසා තිබේ.

රාහුල් ගාන්ධි ට්විටර් ගිණුම ඔස්සේ පවසා ඇත්තේ බටහිර බෙංගාල වැසියන්ගේ තීන්දුවට තමන් හිස නමා ආචාර කරන බවය.

බටහිර බෙංගාලයේ කොරෝනා ආසාදිතයන් ගණන කෝටි 846 කි. මරණ වාර්තා වන්නේ 11,447 ක් ලෙසය. ප්‍රාන්ත මැතිවරණයට සියලු කටයුතු සූදානම් වී, මැතිවරණය අදියර 8 කින් පැවැත්වීමට ඉන්දීය මැතිවරණ කොමිසම තීරණය කළ අවස්ථාවේදී, මහ ඇමැතිනී බෙනර්ජි විරෝධය දැක්වූවාය.

 වසංගතය සැලකිල්ලට ගනිමින් අදියර අඩු ගණනකින් මැතිවරණය පැවැත්වීම කළ යුතු යැයි ඇය ඉන්දීය මැතිවරණ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත්, ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව පැවැසෙයි. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පමණක් නොව, භාරතීය ජනතා පක්ෂ දේශපාලන නායකයන් බටහිර බෙංගාලය පුරා මහා ජනරැලි සංවිධානය කළේ ද කොරෝනා වසංගතය උත්සන්න වී තිබියදීය.

බටහිර බෙංගාල ප්‍රාන්තය කෙසේ හෝ ජයගත යුතු යැයි මෝදි ඔහුගේ පක්ෂ නායකයන්ට පවසා තිබුණැයි ද ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙයි. බටහිර බෙංගාලයේ මැතිවරණ පරාජයත් සමඟ අග්‍රාමාත්‍ය මෝදි, මමතා බෙනර්ජිට සුබ පැතීමට අමතක නොකළ අතර, ඉන්දීය මධ්‍යම රජයේ සහාය දිගටම මමතා බෙනර්ජිගේ ප්‍රාන්ත රජයට ලබා දෙන බව ද අවධාරණය කළේය.


RECOMMEND POSTS