ලොවට වින කරන ඉන්දියාවේ විකෘතිය



“මෙතරම් බිහිසුණු කොරෝනා විකෘතියක් මෙතෙක් අපට දකින්න ලැබිලා නැහැ. මේ ප්‍රභේදය, කොවිඩ් 19 වයිරසයට නව අර්ථකතනයක්. මේක පැතිරෙන්නේ සුපිරි වේගයකින්. සාමාන්‍ය කොරෝනා වයිරසය සම්ප්‍රේෂණයට අදාලව, නිකුත් කළ සෞඛ්‍ය උපදෙස් පවා මේ නව ප්‍රභේදය හමුවේ වෙනස් වෙනවා. කොවිඩ් 19 ගැන අප දන්නා සියලු දේ වෙනස් වෙනවා. වචනයෙන් පැහැදිලි කරන්න බැරි තරමට මෙම විකෘතිය බිහිසුණුයි. අද මුළු ලොවටම මෙය තර්ජනයක්” - ලෝක සෞඛ්‍ය සංවිධානය - 2021 මැයි 10 වැනිදා

ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය උත්සන්න කිරීමට හේතුවක් වූ, එරටින් සොයා ගත් බී.1.617 නමැති දෙමුහුන් විකෘති ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කළේත්, අනතුරු අඟවීම් කළේත් මෙසේය. ඉන්දියාවෙන් සොයාගත් බී.1.617 විකෘති වයිරස ප්‍රභේදය ඉතාමත් බිහිසුණු වයිරස ප්‍රභේදයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවූ පළමු අවස්ථාව  මෙයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඉන්දීය විකෘතිය සම්බන්ධයෙන් මෙසේ කනස්සල්ල පළ කළේ ඉන්දියාවේ දෛනික ආසාදිතයන් සහ මරණ දිනෙන් දින ඉහළ යද්දීය.

ඉන්දියාවේ රෝහල් සියල්ල පාහේ මේ වනවිට පිරී අවසන් අතර, ඉන්දීය සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමකට ලක් වී ඇත. කොරෝනා වයිරසයට බිලිවුණු ඉන්දීය වෛද්‍යවරුන් ඇතුළු හෙද හෙදියන් ගණණ 800 කට වඩා වැඩිය. ගංගා නදියේ පවා කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන්ගේ මළසිරුරු පාවීමට පටන්ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රෝහල්ගත කළ ආසාදිතයන් දිනපතා මියයන්නේ ඔක්සිජන් නොමැතිකම නිසාය.

පසුගිය අවසන් වෙද්දී, ඉන්දියාවෙන් 'කොවිඩ් 19' වයිරසයේ විකෘති ප්‍රභේද කීපයක් හමුවී තිබුණි. එම විකෘති ප්‍රභේද ගැනත් අලුතින් හමුවීමට ඉඩ ඇති විකෘති ප්‍රභේද ගැනත් ඉන්දීය විද්‍යාඥයෝ විමසිල්ලෙන් පසුවූහ. වයිරස ද ඇසට නොපෙනන කුඩා ජීවියෙකි. අප වයිරස විනාශ කිරීමට උත්සාහ ගනිද්දී වයිරස සැමවිටම උත්සාහ ගන්නේ දිවි රැක ගැනීමටය. ඒ අනුව වයිරස වෙනස් වෙයි. විකෘති ප්‍රභේද නිර්මාණය වීම සිදුවන්නේ එලෙසිනි.

පසුගිය ඔක්තෝබර් පස්වැනිදා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ 'කොවිඩ් 19' ආසාදිතයකුගෙන් ලබා ගත් සාම්පල වැඩිදුර පරීක්ෂාවට ලක් කරද්දී, විද්‍යාඥයෝ තැති ගත්හ. ඒ, මෙතෙක් ඉන්දියාවෙන් වාර්තා වූ විකෘති වයිරස ප්‍රභේද දෙකක මිශ්‍රණයක් දකින්න ලැබීමෙනි. එය බිහිසුණු කොරෝනා විකෘතියක් වූවා පමණක් නොව, දෙමෙහුන් කොරෝනා විකෘතියක් ද විය. ලොව පළමු දෙමුහුන් විකෘතිය වූයේ මෙයයි. බී.1.617 යන නාමයෙන් නම් කෙරුණේ ද මෙයයි.

“ඉන්දියාවේ කොරෝනා වසංගත තත්ත්වය උත්සන්න කළ බී.1.617 විකෘතිය ගැන අපට දත්ත ලැබී තිබෙනවා. ඒ වගේමයි අපගේ විද්‍යාඥයන් පවා එම විකෘති ප්‍රභේදයේ සාම්පල අධ්‍යයනය කළා. එකක් පැහැදිලියි; මෙතරම් බිහිසුණු කොරෝනා විකෘතියක් මෙතෙක් අපට දකින්න ලැබිලා නැහැ. මේ ප්‍රභේදය 'කොවිඩ් 19' වයිරසයට නව අර්ථකතනයක්. මේක පැතිරෙන්නේ සුපිරි වේගයකින්. සාමාන්‍ය කොරෝනා වයිරසය සම්ප්‍රේෂණයට අදාලව නිකුත් කළ සෞඛ්‍ය උපදෙස් පවා මේ නව ප්‍රභේදය හමුවේ වෙනස් වෙනවා. ලොව සෑම කෙනකුම මෙම විකෘතිය ගැන කල්පනාකාරී වෙන්න ඕනෑ. මේක ඉතාමත් අවදානම් තත්ත්වයක්” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන විශේෂඥ වෛද්‍ය මරීයා වැන් කෙර්කෝව් පවසයි.

මේ වනවිට ඉන්දියාවේ සෑම ප්‍රාන්තයකින්ම පාහේ බී.1.617 විකෘති ප්‍රභේදය හමුවී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි. ඉන්දීය සෞඛ්‍ය අංශ මෙම විකෘති ප්‍රභේදය සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජයට අනතුරු ඇඟවීම් කළේ පසුගිය මාර්තු මස මුලදීය. කෙසේ නමුත් ඒ වනවිට ඉන්දියාව තුළ ආසාදිතයන් විශාල වශයෙන් අඩුවීමක් පෙන්නුම් කළ බැවින්, නරේන්ද්‍ර මෝදි රජය එම නව විකෘති වයිරසය ගැන කිසිදු තැනීමක් නොකර, ජනතාව ඒකරාශීකරමින්, දැවැන්ත මැතිවරණ රැලි සංවිධානය කළ අතර, ලක්ෂ ගණනින් සහභාගී වූ කුම්බමේලා වැනි හින්දු ආගමික උත්සව ද පැවැත්වීමට අනුග්‍රහය දුන්නේය. ඉන්දියාවේ හිටිහැටියේ කොරෝනා වසංගත තත්ත්වයක් නිර්මාණය වූයේත් ඒ සම්බන්ධයෙන් මෝදි රජයට දෝෂාරෝපණ එල්ල වන්න වූයේත් විකෘති වයිරස ප්‍රභේදය නිසාය.
මේ වනවිට ඉන්දියාවේ බී.1.617 දෙමුහුන් විකෘති කොරෝනා වයිරස ප්‍රභේදය, මේ වනවිට රටවල් 17 කට ව්‍යාප්ත වී ඇති බව පැවැසෙයි. ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, සිංගප්පූරුව, පමණක් නොව, ඉන්දියාවේ අසල්වැසියන් වන අප ශ්‍රී ලංකාවෙන්, බංග්ලාදේශයෙන් සහ නේපාලයෙන් ද මෙම බී.1.617 වයිරස විකෘතිය හමුවී ඇත. අප සෞඛ්‍ය අංශ පෙන්වා දෙන ආකාරයට විදේශයකින් පැමිණ නිරෝධායනය වෙමින් සිටියදී, ආසාදිතයකු යැයි තහවුරු වුණු පුද්ගලයකුට ඉන්දීය වයිරසය ආසාදනය වූ බවය. එම පුද්ගලයාගේ ජෛව පටක සාම්පල පරීක්ෂා කිරීමේදී, ඒ බව තහවුරු වුණු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැහැදිලි කර ඇත.

මේ වනවිට තවත් රටවලින් හමුවුණු විකෘති වයිරස ප්‍රභේද ද අප රටින් හමුවී තිබේ. එසේ හමුවුණු විකෘති ප්‍රභේද වන්නේ, B.1.1.7 (එංගලන්ත විකෘතිය), B.1.428 (ඩෙන්මාර්ක/යුරෝපා සහ මැදපෙරදිග විකෘතිය), B 1.525 (නයිජීරියානු විකෘතිය) සහ B.1.351 (දකුණු අප්‍රිකානු විකෘතිය) ය. ඊට අමතරව මෙරටින් ද මෙරටට ආවේණික වූ විකෘතියක් හමුවී තිබේ. ශ්‍රී ලංකා විකෘතිය යනුවෙන් හැඳින්වෙන මෙහි නිල නාමය වන්නේ B.1.411 ය.

බංග්ලාදේශ සෞඛ්‍ය අංශ පවසා ඇත්තේ එරටින් ඉන්දියාවේ බී.1.617 වයිරසය විකෘතිය ආසාදනය වූ ආසාදිතයන් 6 දෙනකු හඳුනා ගෙන ඇති බවය. බංග්ලාදේශ සෞඛ්‍ය අංශ බිය පළ කර ඇත්තේ එරට සමාජයේ ඉන්දීය විකෘතිය හෙවත් බී.1.617 ප්‍රභේදය පැතිරෙමින් පවතින බවටය. නේපාල සෞඛ්‍ය අංශ පවසන්නේ, බී.1.617 ප්‍රභේදය මේ වනවිටත් එරට සමාජගත වී ඇති බවටය.

මේ වනවිට දිනපතා නේපාලයෙන් ආසාදිතයන් 8,000 ත් 9,000 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වේ. නේපාලය තවත් ඉන්දියාවක් වී, මළසිරුරු ගොඩගැසීමට පටන් ගන්නා දිනය වැඩි ඈතක නොවේ යැයි නේපාල සෞඛ්‍ය අංශ බිය පළ කරයි. දිනෙන් දින නේපාලයේ කොරෝනා වසංගත තත්ත්වය උත්සන්න වෙද්දී නේපාලය ද අසරණ වී අවසන්ය. විදෙස් ආධාර ඉල්ලා සිටීමට ද නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ට සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඉකුත් සති අන්තයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් සියයට 44 ක් ම කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ගැණින.  නේපාලයේ ජනගහනය මිලියන 30 ක් වන අතර, නේපාල එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් ලබා දී ඇත්තේ මිලියන 2.4 කට පමණි. එයින් ද එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇත්තේ ඉතාමත් සුළු පිරිසක් බව ද පැවැසෙයි.

රොයිටර් ඇසුරිනි


RECOMMEND POSTS