යළි ගෙන්වා ගැනෙයි



තාවකාලිකව නතර කර තිබූ විදෙස්ගත  ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු යළි ආරම්භ කෙරුණු බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය.

ඒ අනුව  ඉන්දියාවේ සිට  ලාංකිකයින් 185 ක්ද , මාලදිවයිනේ සිට 187 ක් සහ දෝහා කටාර් සිට ලාංකිකයින් 27 ක්ද , එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට  ලාංකිකයින් 420 දෙනෙකු සහ චීනයේ සිට  ලාංකිකයින් 112 ක්ද  ගෙන්වා ගත් බව ඒ මහතා කීය.

කොවිඞ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් සිරවී සිටින විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු ආරම්භ කලද , කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ කොවිඞ් නයින්ටීන් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග එම කටයුතු තාවකාලිකව නතර කෙරුණි.

අනතුරුව අවස්ථා කිහිපයක දී මෙරටට පැමිණීමට නොහැකිව සිරවී සිටි විදෙස්ගත  ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සිදුකළත් , මහ මැතිවරණය හේතුවෙන් පසුගිය 04 වැනිදා සිට  විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු තාවකාලිකව නතර කෙරුණු බව විශ්රා්මික අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් පසුගිය මාස කිහිපයේදී එලෙස සිරවී සිටි විදෙස්ගතලාංකිකයින් 18,500 ක් පමණ මේවන විට දිවයිනට ගෙන්වූ බවද  ජයනාත් කොළඹගේ මහතා කීය.
මෙම සියලු  ලාංකිකයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු අතර පී.සී. ආර් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ඔවුන් සිය නිවෙස් වෙත පිටත්කර හැරුණු බව ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේය.

මේ අතර තවත් ලාංකිකයින් 40,000 ක් පමණ දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බවද විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය

මෙරටට පැමිණීමට නොහැකිව ලෙබනන් ඇතුළු මැදපෙරදිග රටවල සිටින තවත් ලාංකිකයින් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීම ඉදිරි දින කිහිපය තුළ සිදුකරන බව විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS