මොකක්ද මේ ඔමික්‍රෝන්



මුලින්ම, වයිරසයක ස්වභාවය සරලව අවබෝධ කර ගනිමු. වයිරසයක් යනු පණ ඇති දෙයකි. වයිරසයක් අප මනුෂ්‍යයන්ට ආසාදනය වූ විට එහි අරමුණ වන්නේ, අප සිරුර තුළ එහි පිටපත් නිර්මාණය කර ගනිමින් ජීවත් වීමය. වයිරසයේ ඉලක්කය එහි පැවැත්ම රඳවා ගැනීමය. ස්වභාවිකව හෝ එන්නත් මගින් හෝ ඖෂධ මගින් ලැබෙන අපට ලැබෙන ප්‍රතිශක්තිය වයිරසයට බාධාවකි. එම ප්‍රතිශක්තිය, වයිරසය අඩපණ කරයි.

එහෙයින්, එයින් බේරීමටත් පැවැත්ම රඳා පවත්වා ගැනීමටත් වයිරසය වෙනස් වෙයි. ගති ලක්ෂණ වෙනස් කර ගනී. මාතෘ වයිරසයට වඩා දරු පරම්පරාව වෙනස් වෙයි. වයිරසයක් විකෘති වී නව ප්‍රභේද නිර්මාණය කරනවා යනු මෙයයි. වයිරසයේ අවසන් අරමුණ නැතිනම් ඉලක්කය, එය ආසාදනය වන තැනැත්තාට මැරෙන්න නොදී, එම තැනැත්තා හැකිතාත් ජීවත් කරගෙන, වයිරසය ද බෙදී වෙන් වෙමින් සිය ගහණය වැඩි කර ගැනීමය. ආසාදනය වන සියලු දෙනා මියගියොත් එය වයිරසයට අවාසියකි. හේතුව, වයිරසය ද ඒ සමඟ මියයන බැවිනි.

කොරෝනා නමැති වයිරස පවුලට අයත්, 'කොවිඩ් 19' නමැති, අපට හිසරදක් වුණු වයිරසයේ කතාව ද මෙයයි. 'කොරෝනා' යනු සතුන්ගෙන් මනුෂ්‍ය අපට ආසාදනය වී, අප අතරේ පැතිරෙන වයිරස වර්ගයකි. 'කොරෝනා' යනු ඔටුන්න යන අර්ථයයි. මෙම වයිරසයේ ස්වරූපය උල් කූරු සහිත ඔටුන්නක් වැනිය. සුලමුල නොදන්නා 'කොවිඩ් 19' කොරෝනා පවුලේ නවතම සාමාජිකයාය. 'කොවිඩ් 19' මාතෘ වයිරසය විකෘති වෙද්දී, ඔටුන්න ආකාරයේ ස්වරූපය එලෙසින්ම පවතින නමුත්, ගති ලක්ෂණ වෙනස්කම්වලට ලක් වෙයි. අප එන්නත් නිපදවද්දී වයිරසය තවත් විකෘති වෙයි. වයිරසයක ස්වභාවය මෙයයි.

මේ වනතුරු 'කොවිඩ් 19' වයිරසයේ බිහිසුණු විකෘති ලෙස විකෘති 4 ක් හඳුනා ගෙන තිබුණි. ග්‍රීක හෝඩියේ නම්වලින් නම් කෙරුණු ඒවා 'ඇල්ෆා', 'බේටා', ගැමා' සහ 'ඩෙල්ටා' ය. මේ අතරින් ද දරුණුම සහ වේගයෙන් බෝ වෙන විකෘති ප්‍රභේදය ඉන්දියාවෙන් බිහිවුනු 'ඩෙල්ටා' ය. ඒත් අද වනවිට තවත් බිහිසුණු විකෘතියක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. මෙම නව විකෘතිය විමසිල්ලෙන් පසුවිය යුතු අවධානය යොමු කළ යුතු කොවිඩ් 19 විකෘති වයිරස අතරට එක් කර තිබේ. 'බී 1.1.529' යනුවෙන් පළමුවෙන් නම් කළ මෙම විකෘතිය, ග්‍රීක හෝඩියට අනුව නම් කර ඇත්තේ 'ඔමික්‍රෝන්' යනුවෙනි.

මෙය 'ඩෙල්ටා' විකෘතියට වඩා 10 ගුණයකින් ප්‍රබලය. 'ඔමික්‍රෝන්' යනු එන්නත්වලින් මට්ටු කළ නොහැකි, යළි යළි ආසාදනය වන, පීසීආර් පරීක්ෂණ මඟ හැරීමට සමත් විකෘතියක් බව ද පැවැසෙයි. 'ඔමික්‍රෝන්' විකෘතිය බිහිසුණු වන්නේ, 'ඇල්ෆා', 'බීටා', ගැමා' සහ 'ඩෙල්ටා' යන විකෘති හතරේ ගති ලක්ෂණ ඊට ඇතුළත් වීමය.

ඊට අමතරව, විද්‍යාඥයන්ට මෙතෙක් හමු නොවුණු විකෘති ගති ලක්ෂණ ද ඊට ඇතුළත් වෙයි. වයිරසයේ ස්පයික් ප්‍රෝටීනයේ (ඔටුන්න වැනි කොටස) පමණක් ඇති විකෘති ගණන 32 කට වැඩිය. ඊට අමතරව සමස්ත වයිරසයේ ඇති විකෘති ප්‍රභේද ගණන 50 කට වැඩිය.

'ඔමික්‍රෝන්' විකෘතියට ඇතුළත් විකෘති දෙකක් වන්නේ P681H සහ N679K ය. මෙම විකෘති දෙක එකට හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි විද්‍යාඥයෝ පවසති. එන්නත්වලට ප්‍රතිරෝධයක් දක්වන විකෘති ලෙස P681H සහ N679K මීට පෙර සිටම හඳුනා ගෙන තිබුණි. H655Y නමැති විකෘතිය ද 'ඔමික්‍රෝන්' විකෘතියට ඇතුළත්ය. වයිරසයට ඉතා පහසුවෙන් අපේ සිරුරේ සෛලවලට රිංගා ගැනීමට H655Y උපකාරී වෙයි. N501Y නමැති විකෘතිය ද 'ඔමික්‍රෝන්' තුළ ඇත. විද්‍යාඥයන්ට N501Y විකෘතිය මුලින්ම හමුවී ඇත්තේ 'ඇල්ෆා' සහ 'බේටා' විකෘතිවලිනි. (ඇල්ෆා යනු එංගලන්තවේ කෙන්ට් පළාතෙන් පළමුවෙන් හමුවුණු 'කොවිඩ් 19' විකෘතිය වන අතර 'බේටා' යනු පළමුවෙන් දකුණු අප්‍රිකාවෙන් හමුවුණු විකෘතියයි.)

N501Y විකෘතියෙන් සිදුවන්නේ වයිරසය ව්‍යාප්ත වීම වේගයත් කිරීමය. R203K සහ G204R යනුවෙන් හැඳින්වෙන වයිරස විකෘති ද 'ඔමික්‍රෝන්' විකෘතිය තුළ අඩංගු වෙයි. 'ඔමික්‍රෝන්' විකෘතිය ආසාදනය වන ප්‍රමාණය වැඩි කරන්නේ මෙම විකෘති දෙකය. 'ඩෙල්ටා' විකෘතියට පමණක් ආවේණික N440K නමැති විකෘතියත්, 'බේටා' විකෘතියට පමණක් ආවේණික K417N සහ E484A යන විකෘති දෙකත්, ඇමෙරිකාවේ නිව්යෝක් නුවරින් පළමුවෙන් සොයා ගත් 'නිව්යෝක්' නමැති විකෘතියට ආවේණික S477N විකෘතියත් 'ඔමික්‍රෝන්' තුළින් හමුවී ඇත. කෙ සේ නමුත් සෙසු වයිරස විකෘතිවල ඇති, ව්‍යාප්තිය වේගවත් කරන විකෘතියක් ලෙස සැලකෙන NSP6 නමැති විකෘතිය 'ඔමික්‍රෝන්' විකෘතියේ නොමැති බව පැවැසෙයි.

G446S, T478K, Q493K, G496S, Q498R සහ Y505H යනු මේ වනවිට 'ඔමික්‍රෝන්' විකෘතියෙන් පමණක් සොයා ගත් විකෘති වයිරස වන අතර, මේවායෙන් සිදුවන්නේ කුමක්ද යන්න මෙතෙක් ආනාවරණය වී නැත. 'ඔමික්‍රෝන්' සම්බන්ධයෙන් ඉදිරි සති හතර ඇතුළත පූර්ණ සවිස්තරාත්මක වාර්තාවක් එළිදැක්වීමට තමන් බලාපොරොත්තු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර ඇත.

'ඔමික්‍රෝන්' සුලමුල අප්‍රිකා මහද්වීපයයි. 'ඔමික්‍රෝන්' විකෘතියේ බිහිසුණු බව පළමුවෙන් ලොවට පැවැසුවේ දකුණු අප්‍රිකාවය. අද දකුණු අප්‍රිකාවේ සෑම පළාතකටම 'ඔමික්‍රෝන්' ව්‍යාප්ත වී තිබේ. 'ඔමික්‍රෝන්' ආරම්භය සිදුවී ඇත්තේ බොට්ස්වානා රාජ්‍යයෙන් බව ද පැවැසෙයි. බොට්ස්වානා ද අප්‍රිකා රාජ්‍යයකි. බොට්ස්වානා රාජ්‍යයෙන් ද මීට පෙර විකෘතියක් හමුවිය. ග්‍රීක හෝඩියට අනුව එය නම් කර ඇත්තේ 'නියු' යනුවෙනි.

දකුණු අප්‍රිකා විද්‍යාඥයන්ට 'ඔමික්‍රෝන්' පළමුවෙන් හමුවූයේ පසුගිය නොවැම්බර් 19 වැනිදා සිදු කළ සාම්පල පරීක්ෂණයකදීය. ඔවුන් ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දුන් පසු, ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ ගැන කනස්සල්ල පළ කළේ පසුගිය 24 වැනිදාය. 'බී 1.1.529' යනුවෙන් මුලින් නම් කළ විකෘතිය, පසුව 'ඔමික්‍රෝන්' යනුවෙන් නම් කිරීම සිදුවූයේ අද 27 වැනිදා ය. 'ඔමික්‍රෝන්' හඳුනා ගැනීම සහ එහි සුලමුල සොයා ගැනීම කළේ දකුණු අප්‍රිකාවේ 'යූ.සී.එල්. ජෙනටික්ස්' නමැති ජාන පර්යේෂණ ආයතනයයි.

ඒඩ්ස් ආසාදිතයකුට 'කොවිඩ් 19' ආසාදනය වී, එම තැනැත්තාගේ සිරුරේ 'කොවිඩ් 19' වයිරසය විකෘතිකරණයට ලක්වීමෙන් පසු 'ඔමික්‍රෝන්' නිර්මාණය වී ඇතැයි 'යූ.සී.එල්. ජෙනටික්ස්' ආයතනය පවසයි. ඒඩ්ස් රෝගයට හේතු වන්නේ එච්.අයි.වී. වයිරසයයි. එච්.අයි.වී. ආසාදනය වූ පසු සිදු වන්නේ, ප්‍රතිශක්තිය විනාශ කර දැමීමය. ඒ අනුව, ඒඩ්ස් රෝගියකුට සාමාන්‍ය හෙම්බිරිස්සාවක් පවා මාරක වන අවස්ථා ඇත.

'ඒඩ්ස් ආසාදිතයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වුවහොත් එය ඉතාමත් බරපතල තත්ත්වයක්. එච්.අයි.වී. වයිරසය හේතුවෙන් එම තැනැත්තාගේ ප්‍රතිශක්තිය මුළුමනින්ම අඩපණ වීම ඊට හේතුවයි. 'ඔමික්‍රෝන් නිර්මාණය වී ඇත්තේ, ඒඩ්ස් ආසාදිතයාගේ සිරුර හැකි උපරිමයෙන් කොවිඩ් 19 වයිරසය නැසීමට උත්සාහ ගැනීමේ ප්‍රතිඵලයක් හැටියටයි. ඒඩ්ස් රෝගියාගේ සිරුර තුළ දී කොවිඩ් 19 වයිරසය පරාජය බාර ගෙන නැහැ. එය තව තවත් විකෘති වෙමින් ස්වරූපය වෙනස් කරගෙන 'ඔමික්‍රෝන්' නිර්මාණය කර තිබෙනවා. මෙය සැබැවින්ම බිහිසුණු විකෘති ප්‍රභේදයක්' යැයි 'යූ.සී.එල්. ජෙනටික්ස්' නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

අද 27 වනවිට දකුණු අප්‍රිකාවෙන් සහ බොට්ස්වානා රාජ්‍යයෙන් පමණක් නොව, මැදපෙරදිග කලාපයට අයත් ඊශ්‍රායලයෙන්, ආසියාවට අයත් හොංකොං රාජ්‍යයෙන් සහ යුරෝපයට අයත් බෙල්ජියමෙන් ද 'ඔමික්‍රෝන්' ආසාදිතයන් හමුවී තිබුණි. ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය නිවේදනය කළේ 'ඔමික්‍රෝන්' ආසාදිතයන් යැයි සැක කළ හැකි කොරෝනා රෝගීන් හමුවී ඇති බවය. ලොව රටවල් බොහොමයක් (අප ශ්‍රී ලංකාව ද ඇතුළුව) අප්‍රිකා රටවල් කීපයකට තහංචි පැනැවූයේ එම රටවලින් පැමිණෙන සංචාරකයන් බාර නොගන්නා බව පවසමිනි.

දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, නැමීබියාව, සිම්බාබ්වේ, ලෙසතෝ සහ ඊෂ්වාතිනී (ස්වාසිලන්තය) යන රටවලට මෙම තහංචි පැනැවිණි. මේ අතර, අවසන් දින 14ක කාලය තුළ එලෙස පැමිණි කිසිවෙකු හෝ සිටී නම් නිරෝධායනයට යොමුවන ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ඉල්ලීමක් කර ති‌‌බේ. ඔමික්‍රෝන් ප්‍රභේදයේ 'එස්' ජානය ආශ්‍රිත විකෘතිතා 30ක් පමණ දක්නට ලැබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැහැදිලි කරයි.

ජනතාව නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවත් අවධානයෙන් කටයුතු කළයුතු බවත් බූස්ටර් එන්නත ලබා ගැනීම අවශ්‍ය බවත් වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි. විදේශිකයන් මෙරටට පැමිණීමේදී දැනට පනවා ඇති නීතිරීති ප්‍රමාණවත් බවත්, 'ඔමික්‍රෝන්' විකෘතිය ශ්‍රී ලංකාව තුළ හඳුනාගැනීමට පරීක්ෂණාගාර පහසුකම් ඇති බවත් වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැහැදිලි කර තිබේ.

"ඩෙල්ටා ප්‍රභේදයට වඩා වේගයෙන් පැතිරීමේ හැකියාවක් ඔමික්‍රෝන් ප්‍රභේදයට තිබෙනවා යැයි අනුමාන කරනවා. ශ්‍රී ලංකාව ඉතාමත් හොඳ සූදානමක ඉන්නවා. බිය වෙන්න අවශ්‍ය නෑ. අවශ්‍ය වන්නේ ඔමික්‍රෝන් රට තුළට එන එක හැකිතාක් ප්‍රමාද කිරීමයි. ඕනම ප්‍රභේදයක් ලංකාවට එන එක සදහටම නවත්වන්න බෑ. බූස්ටර් එන්නතෙන් අපේ ප්‍රතිශක්තිය ඉහළ යනවා. ඒ තුළින් ඔමික්‍රෝන් ප්‍රභේදය ආවත් බයක් වෙන්න අවශ්‍ය නැතිවේවි‍. ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් ඇතිවන දරුණු තත්ත්වයන් ගැන තාම ලෝකයේ කවුරුත් දන්නේ නෑ. ලංකාවේ වැඩි දෙනකුට ලබා දුන්නේ සයිනොෆාම් එන්නත. අප දැක්කා පර්යේෂණ මගින් ප්‍රතිදේහ මාස 3 යනකොට අඩුවෙනවා. එවැනි අවස්ථාවක බූස්ටර් එන්නත ඉතා වැදගත්. ආරක්ෂාව තියෙන්නේ එතන. විශේෂයෙන් වැඩිහිටියන් බූස්ටර් එන්නත ලබා නොගෙන සිටීම හොඳ කාරණයක් නොවෙයි. ලංකාවේ තාම පැතිරෙන එකම ප්‍රභේදය ඩෙල්ටා විතරයි. එහි අනු ප්‍රභේද 2ක් හමුවුණා. ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 30න් 10ක්ම පැතිරීම ට බලපාන විකෘතිතා. ඒ නිසා මේක සැලකියයුතු තත්ත්වයක්. එන්නත් ප්‍රතිශක්තිය මහහැරයෑමේ හැකියාවක් මේකට තිබෙනවා කියලා අනුමාන කරනවා. ඩෙල්ටා හැදුණු රෝගීන්ට පවා මේ ඔමික්‍රෝන් වැලඳිලා තියෙනවා. මේකෙ හැසිරීම ඉදිරියේදී හරියටම දැනගන්න ලැබෙයි. පී.සී.ආර්. පරීක්ෂණවලින් මෙම විකෘතිය හඳුනා ගැනීමේ සහ සැක කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒක හොඳ දෙයක්." යැයි වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.


RECOMMEND POSTS