කොරෝනාට එරෙහිව පිරිසුදු පොල්තෙල්



පිරිසුදු පොල්තෙල්වලින් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇති වන රෝග ලක්ෂණ මර්දනය කළ හැකි යැයි පිලිපීනයේ ප්‍රධාන පෙළේ රසායනික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු උපුටා දක්වමින් ‘සී.එන්.එන්. පිලිපීන්ස්’ පුවත් සේවය වාර්තා කර ඇත.

නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මද රෝග ලක්ෂණ පෙන්නුම් කරන සහ වයිරසය ආසාදනය වී ඇතැයි සැක කරන අයගේ රෝග ලක්ෂණ පාලනය කිරීමට පිරිසුදු පොල්තෙල්වලට හැකියාව ඇතැයි දැනට කර ඇති අධ්‍යයනවලින් සොයාගැනීමට හැකියාව ලැබී ඇතැයි මෙම අධ්‍යයනවල මූලිකත්වය කටයුතු කරන මහාචාර්ය ෆාබියන් ඩාරිට් ඉකුත් දිනෙක පැවැසීය.

ඒ හේතුවෙන් ආසාධ්‍ය තත්ත්වය පත්වන නව කොරෝනා වයිරසය ආසාදිත රෝගීන්ට සහ පූර්ව රෝගී තත්ත්ව තිබෙන රෝගීන්ට පිරිසුදු පොල්තෙල්වලින් වන බලපෑම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පර්යේෂකයන්ට අවස්ථාව ලබාදිය යුතු යැයි ද හෙතෙම කීය.

මහාචාර්ය ෆාබියන් ඩාරිට් පිලිපීනයේ මැනීලා නුවර ‘ඇටනියෝ විශ්ව විද්‍යාලයේ’ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන අතර පිලිපීනයේ රසායන විද්‍යාඥයන්ගේ ප්‍රධාන පෙළේ සංගමයක් වන ‘ඉන්ටග්‍රේටඩ් කෙමිස්ට්ස් ඔ‌ෆ් ද පිලිපීන්ස්’ සංගමයේ සභාපතිවරයාද වේ.

නව කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන්ගේ ශරීරවල වයිරස තොගය අඩු (වයිරල් ලෝඩ්) සියයට 60ත් 90ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට පිරිසුදු පොල්තෙල්වලට හැකියාව ඇති බව අධ්‍යයනවලින් පෙන්නුම් කරන බව මහාචාර්යවරයා කීය.

පිලිපීනයේ විද්‍යා සහ තාක්ෂණ දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය පර්යේෂණ සහ සංවර්ධනය සඳහා වූ කවුන්සිලය මෙම අධ්‍යයනයට මූල්‍ය දායකත්වය ලබා දී ඇත. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ද මෙම අධ්‍යයනවලට අදාළව බලාපොරොත්තු සහගත ප්‍රතිඵල නිකුත් වී තිබිණි.

පිරිසුදු පොල්තෙල්වලින් ‘කොවිඩ්-19’ වයිරසයට එරෙහිව ශරීරවල ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කරන බව ද මෙම අධ්‍යයනවලින් අනාවරණය වී තිබිණි.

ඉහත කී දෙපාර්තමේන්තුවේ ම, ආහාර සහ පෝෂණ පර්යේෂණ ආයතනය ද මුලින් සඳහන් කළ මුල් පර්යේෂණයෙන් පසු ව තවත් අධ්‍යයනයක් කර ඇත.

‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආසාදිතයන්ගේ, රෝග ලක්ෂණවල දරුණුබව අඩු කිරීමට පිරිසිදු පොල්තෙල්වලට හැකියාව ඇති බව එම අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත. එමෙන්ම වයිරසය ආසාදනය වී ඇතැයි සැක කරන සහ රෝග ලක්ෂණ පෙන්නුම් කරන අයගේ ඒවායේ බරපතළ බව අඩු කිරීමට ද පිරිසුදු පොල්තෙල්වලට හැකියාව ඇති බව එම අධ්‍යයනවලින් තවදුරටත් අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් තවදුරටත් සායනික පර්යේෂණ සහ අධ්‍ය්‍යන කළ යුතු බව මේ සම්බන්ධයෙන් සී.එන්.එන්. පිලිපීන්ස් පුවත් සේවයට අදහස් දැක්වූ මහාචාර්ය ෆාබියන් කීය.

සී.එන්.එන්. පිලිපීන්ස් ඇසුරිනි


RECOMMEND POSTS