රටවල් රැසක් කොරෝනා කරල ඇණවුම් කරයි



'කොවිඩ් 19' වයිරසය ආසාදනය වූවන් ඉක්මණින් සුවපත් කිරීමට ඇමෙරිකාවේ 'මර්ක්' ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති 'මොල්නුපියවියර්' නමැති බෙහෙත් කරල සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කිරීමත් සමඟ එය ඇණවුම් කිරීමට තායිලන්තය ඇතුළු ආසියානු රටවල් රැසක් සහ ඕස්ට්‍රේලියාව තීරණය කර ඇත.

'මර්ක්' යනු ලොව ප්‍රකට ඖෂධ නිෂ්පාදන සමාගමක් වන අතර, බොහෝ දෙනා එදිනෙදා භාවිතයට ගන්නා ඖෂධ රැසක් නිෂ්පාදනය කරන්නේ ද මෙම සමාගමය. 1891 දී ආරම්භ වුණු 'මර්ක්' මූලස්ථානය ඇත්තේ නිව්ජර්සි ජනපදයේ කෙලින්වර්ත් නුවරය.

'කොවිඩ් 19' රෝගීන් ඉක්මණින් සුව කිරීමට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ඖෂධ කීපයක් නිර්මාණය ඇති නමුත් එම ඖෂධ ලබා දීම සිදුවන්නේ කොරෝනා ආසාදිත අසාධ්‍ය රෝගීන්ට, රෝහලක් තුළ වෛද්‍ය අධීක්ෂණයක් යටතේය.

'මොල්නුපියවියර්' ඖෂධය එසේ අවදානම් එකක් නොවන බවත්, එය වෛද්‍ය උපදෙස් අනුව, නිවසේ දී පවා, භාවිතයට ගතහැකි බවත් පැවැසෙයි. 'මොල්නුපියවියර්' මගින් සිදුවන්නේ, 'කොවිඩ් 19' ආසාදිතයන් රෝහල්ගත වීමට ඇති ඉඩ සහ මරණයට පත්වීමට ඇති ඉඩ අවම කිරීමය.

තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් ද අවසන් හෙයින්, ඖෂධය භාවිතයට අවසර ඉල්ලා 'මර්ක්' සමාගම සියලු සායනික දත්ත ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියට යොමු කර අවසන් බව පසුගිය දා දැන ගන්න ලැබුණි.

(රොයිටර්)


RECOMMEND POSTS