තානාපති දියණිය පැහැරගත් බවට සාක්ෂි නෑ



ඇෆ්ගන් තානාපති නජීබ් අලික්හිල්ගේ දියණිය සිල්සිලා පැහැර ගැනීමට ලක්වුණු බව තානාපති නජීබ් අලික්හිල් සහ ඇෆ්ගන් රජය චෝදනා කළත්, එසේ පැහැර ගැනීමක් සිදුවුණු බවට කිසිදු සාක්ෂියක් හමුවී නැතැයි පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඇෆ්ගන් තානාපති දියණිය සිල්සිලා පැහැරගෙන යෑම සහ ඇයට හිරිහැර කිරීමේ සිදුවීම මුල්කොට ගනිමින්, ඇෆ්ගන් තානාපතිවරයා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන් ආපසු ගෙන්වා ගැනීමට ද ඇෆ්ගන් රජය කටයුතු කර තිබේ. ඒ අනුව ඇෆ්ගනිස්තානයත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය විය.

පැහැර ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා ඊට සම්බන්ධ සියලු දෙනා වහා අත්අඩංගුවට ගන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් උපදෙස් දුන්නේ පසුගිය සති අන්තයේය. ඒ අනුව, අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශයේ මෙහෙයවීමෙන් පුළුල් පොලිස් පරීක්ෂණයක් සිදුවිය.

මේ අතර, ඇෆ්ගන් තානාපති දියණිය සිල්සිලා පැහැරගත් බව දැනගත් සැණින්, ඉන්දියාව ද විශේෂ ප්‍රකාශයක් නිකුත් කළේය. ඒ, එම පැහැර ගැනීමේ සිද්ධිය තරයේ හෙලා දකිමිනි. තානාපති නිලධාරියකුට හෝ එම නිලධාරියාගේ පවුලේ සාමාජිකයන්ට හෝ අනතුරක් කිරීම බරපතල සිදුවීමක් බවත් සිදුවුණේ කුමක්දැයි වහා සොයා බැලිය යුතු බවත් පැහැර ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය රජය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)


RECOMMEND POSTS