තලේබාන්වරුන් ජගත් සමුළුවට කැඳවයි



රුසියාවේ මොස්කව් අගනුවර ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සමුළුවට ඇෆ්ගන් තලේබාන් රජයේ නියෝජිතයන්ට ද ඇරැයුම් කර ඇතැයි රුසියානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඇෆ්ගනිස්තානයේ රුසියන් නියෝජිත සමීර් කැබුලෝව් පවසා ඇත්තේ තලේබාන්වරුන්ට ජාත්‍යන්තරය හා සම්බන්ධ වීමට මෙය හොඳ අවස්ථාවක් වනු ඇති බවය.

ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු යළි බලයට පැමිණි තලේබාන්වරුන් පවසා ඇත්තේ ඇමෙරිකාව ඇතුළු ජාත්‍යන්තරය සමඟ යහපත් සබඳතා ඇති කර ගන්නා බවය. විදෙස් තානාපති කාර්යාල යළි ඇෆ්ගනිස්තානයේ විවෘත කරන්නැයි ද තලේබාන් රජය ඉල්ලීමක් කර තිබේ.

කෙසේ නමුත් ඇෆ්ගන් තලේබාන්වරුන් සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට උනන්දුවක් දක්වා ඇත්තේ කටාර් රාජ්‍යය, පාකිස්තානය, චීනය සහ රුසියාව පමණි. මෙම රටවල් ද පවසා ඇත්තේ තලේබාන්වරුන් ඇෆ්ගනිස්තනයේ ස්ථාවර රජයක් පිහිටුවිය යුතු බවය.

කෙසේ නමුත් තමවත් එවැන්නක් සිදුවී නොමැති අතර, තලේබාන්වරුන් යළි ඔවුන්ගේ සැහැසිකම් ද ආරම්භ කර ඇත. පසුගිය දා නිව්යෝක් නුවර පැවැති 76 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීමට ද තලේබාන්වරුන් උත්සාහ කළ නමුත් ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැත.
‍බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් නියෝජිත කණ්ඩායමක් තලේබාන් නියෝජිත කණ්ඩායමක් හමුවී සාකච්ඡා කළ නමුත් එම සාකච්ඡා ඵලදායී නොවුණු බව ද වාර්තා වේ.‍

ලබන ඔක්තෝබර් 20 වැනිදා රුසියාවේ මොස්කව් අගනුවර පැවැත්වෙන සමුළුවට සහභාගී වනු ඇත්තේ චීනය, ඉන්දියාව, ඉරානය සහ පාකිස්තානයයි. මෙම රටවල් අතරින් චීනය සහ පාකිස්තානය දැනමත් තලේබාන්වරුන් සමඟ යහපත් සබඳතා පවත්වයි. ඇෆ්නිස්තානයේ සංවර්ධන කටයුතුවලට දායක වීමට තමන් සූදානම් බව චීනය පවසා ඇත. කෙසේ නමුත් ඊට පෙර ඇෆ්ගනිස්තානයේ ස්ථාවර රජයක් පැවැතිය යුතු බව ද චීනය තලේබාන් පාලනයට දැනුම් දී තිබේ.

මේ අතර, මාස ගණනක ප්‍රමාදයකින් පසු ඇෆ්ගනිස්තාන වැසියන්ට ගුවන් ගමන් බලපත්‍ර ලබා දීම ආරම්භ කර තිබේ. තලේබාන් සංවිධානය කාබුල් අගනුවර බලය අල්ලා ගැනීමත් සමඟ ඇෆ්ගනිස්තාන වැසියන්ට ගුවන් බලපතු නිකුත් කිරීම නවතා දමා තිබිණි.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පාලන බල්ලා අල්ලා ගැනීමෙන් සහ කාබුල් ගුවන් තොටුපොළ සියතට ගැනීමෙන් පසු ඇෆ්ගන් වැසියෝ දහස් ගණනක් එරටින් පලා යෑමට උත්සාහ කළහ. සිය දහස් ගණනකට ඇමෙරිකාව, එක්සත් රාජධානියට යෑමට අවස්ථාව ලැබුණු නමුත් තව සිය දහස් ගණනකට එම අවස්ථාව අහිමි විය.

ඉකුත් ආණ්ඩුව සමයේ දී ගුවන් බලපත්‍ර ලබා දී තිබූ අවශ්‍ය ලියකියවිලි තිබෙන පිරිස්වලට රටින් පිටව යෑමට අවශ්‍ය පහසුකම් සපයන බව තලේබාන් සංවිධානයේ නිලධාරියෙක් පැවැසීය.

දිනකට ගුවන් ගමන් බලපත්‍ර (පාස්පෝට්) 5,000ත් 6,000ත් අතර ප්‍රමාණයක් නිකුත් කරන බව ගුවන් ගමන් බලපත්‍ර (පාස්පෝට්) කාර්යාලයේ වැඩබලන ප්‍රධානී අලාම් ගුල් හකානි පැවැසීය. කාන්තාවන්ට ගුවන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා නිලධාරිනියන් සේවයේ යොදවා ඇතැයි ද ඔහු කීය.

(රොයිටර්)


RECOMMEND POSTS