ජගත් මහ ලේකම් ධුරය දිගටම ගුටේරස්ට



එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස්ට දෙවන ධුර කාලයක් ලබා දීම සඳහා ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති හමුවේදී ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් 15 දෙනාම ඊට ඒකමතිකව කැමැත්ත පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ආරක්ෂක මණ්ඩලයේ වත්මන් සභාපති එස්තෝනියානු තානාපති ස්වෙන් ජාගන්සන් මේ බව නිවේදනය කර ඇත.

ලොව පුරා තවත් අපේක්ෂකයන් දස දෙනෙකු ජගත් සංවිධාන මහලේකම් ධුරය අපේක්ෂා කළ ද ඔවුන්ගේ නම් ජගත් සංවිධානයේ සාමාජික රටවල් 193 අතුරෙන් කිසිවක් ඉදිරිපත් කර නොතිබුණු බව පැවැසෙයි. පෘතුගාලයේ හිටපු අග්‍රාමාත්‍යවරයා වූ 72 හැවිරිදි අන්තෝනියෝ ගුටේරස් 2017 වසරේ සිට ජගත් සංවිධාන මහලේකම් ධුරය හොබවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්)‍


RECOMMEND POSTS