චීනයේ බිලියනයක් සම්පූර්ණයෙන් එන්නත් කරලා



චීනයේ පූර්ණ එන්නත්කරණයට ලක් වුණු පිරිස බිලියනයක් බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. එය රටේ ජනගනයෙන් සියයට 71 ක ප්‍රතිශතයක් බව ද පැවැසෙයි. චීන රජය පවසා ඇත්තේ මෙම වසර අවසන් වීමට පෙර, රටේ ජනගහනයෙන් සියයට 80 කට පූර්ණ වශයෙන් එන්නත් ලබා දී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය.

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ 2019 වසරේ දෙසැම්බරයේ, චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. චීන විද්‍යාඥයන් 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව එන්නත් කීපයක් නිපදවා ඇති අතර, නව මාදිලියේ එන්නත් නිපදවීමට ද යොමු වී සිටින බව වාර්තා වේ. චීන වැසියන්ට ප්‍රධාන වශයෙන් ලබා දෙන්නේ 'සයිනෝෆාම්' සහ 'සිනොවැක්' යන එන්නත්ය.

වයිරස ව්‍යාප්තිය ආරම්භයේ දී එය අභියෝගයක් වුවත්, 2020 වසර මැද වනවිට රට අභ්‍යන්තරයේ වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට චීන සෞඛ්‍ය අංශ සමත් විය. චීනය, එරට වැසියන්ට එන්නත් ලබාදීම ආරම්භ කළේ මෙම 2021 වසර ආරම්භයේදීය. ඊට පෙර එන්නත් ලබා දීම සිදුවූයේ එරට හමුදාවට සහ සෞඛ්‍ය අංශ සේවක සේවිකාවන්ට පමණි.

ආරම්භයේ දී මන්දගාමී වුවත්, චීනය ඔවුන්ගේ එන්නත්කරණ කටයුතු වේගවත් කළේය. එන්නත්කරණ කටයුතු සාර්ථකව සිදුවෙද්දී පවා විටින් විට චීනයෙන් දේශීය වශයෙන් ආසාදිතයන් වාර්තා වෙයි. එවැනි අවස්ථාවල නගර ලොක්ඩවුන් කළ නගරයේ සියලු දෙනා 'කොවිඩ් 19' පරීක්ෂණවලට යොමු කෙරයි. ආසාදිතයන් සහ ආශ්‍රිතයන් හඳුනා ගැනීම මෙන්ම වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීම ඒ අනුව සිදුවෙයි.

මේ වනවිට 'ඩෙල්ටා' විකෘතිය හේතුවෙන් ෆුජියැන් පළාත කේන්ද්‍ර කොට ගනිමින් නව ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇත. පසුගිය 17 වැනිදා නව ආසාදිතයන් 100 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. නව ආසාදිතයන්ගෙන් යැඩි දෙනා පාසල් සිසුන් බව පැවැසෙයි.

මෙම 'ඩෙල්ටා' පොකුරු බිහිවී ඇත්තේ ප්‍රාන්තයේ පුටියාන් නගරයේ පාසල් කේන්ද්‍රකොට ගනිමිනි. ඒ අනුව, ප්‍රාන්තයේ පාසල් කටයුතු මුළුමනින්ම නවතා දමා ඇති බව ද චීන පුවත් සේවා පවසයි.

පුටියාන් නගරයේ ජනගහනය මිලියන 3.2 ක් බවත් ඔවුන් සියලු දෙනා කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට සූදානම් බවත් සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS