ඉන්දීය එන්නතට අනුමැතිය දෙන්න සූදානම්



ඉන්දියාව සියයට සියයක් එරට තාක්ෂණය යොදා ගනිමින් නිපදවා ඇති 'කොවැක්සින්' නමැති 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත සඳහා අනුමැතිය දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සුදානම් වෙයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු එරට ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් සහ ඉන්දීය වැසියන් බොහෝ දෙනකු ලබා ගෙන ඇත්තේ ද මෙම 'කොවැක්සින්' එන්නතය. ඒ, එන්නත හදිසි භාවිතයට සුදුසු යැයි ඉන්දීය ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිවී ඇති බැවිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරියක වන ආචාර්ය සෞම්‍යා ස්වාමිනාදන් ට්විටර් පණිවුඩයකින් පවසා ඇත්තේ ලබන 26 වැනිදා වනවිට 'කොවැක්සින්' එන්නත සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණයක් ගනු ඇති බවය.

'කොවැක්සින්' එන්නත නිපදවන්නේ ඉන්දීය රජයට අයත් භාරත් බයෝටෙක් ඖෂධ නිෂ්පාදන සමාගමය. ඒ, ඉන්දීය ජාතික ඖෂධ පර්යේෂණාගාරය සහ ඉන්දීය ජාතික වයිරස විද්‍යා ආයතනය එක් වෙමිනි. භාරත් බයෝටෙක් ඖෂධ නිෂ්පාදන සමාගම 'කොවැක්සින්' එන්නතට අනුමැතිය ඉල්ලා ඒ සම්බන්ධයෙන් සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කළේ පසුගිය සැප්තැම්බර් 27 වැනිදා යැයි ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS