ඇෆ්ගන් වැසියන්ට වන්දි



ඇෆ්ගනිස්තානයෙන් පිටත්වී යෑමට ඔන්න මෙන්න කියා තිබියදී, පසුගිය අගෝස්තු මාසයේ, ඇමෙරිකන් හමුදා කාබුල් නුවර සිදු කළ ඩ්‍රෝන යානා ප්‍රහාරයකින්, සිවිල් වැසියන් 10 දෙනකු මියගිය අතර, මියගිය එම සිවිල් වැසියන්ගේ පවුල්වලට වන්දි මුදල් පිරිනැමීමට ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් 'පෙන්ටගනය' පියවර ගෙන තිබේ.

වන්දි මුදල් පිරිනැමීම සිදුවන්නේ ඩ්‍රෝන ප්‍රහාරවලින් මියගිය සිවිල් වැසියන් 10 දෙනකුගේ පවුල්වල සාමාජිකටන්ට බව ද පැවැසෙයි. වන්දි ලෙස ලබා දෙන මුදල කොපමණදැයි පෙන්ටගනය අනාවරණය කර නැත.

ඇමෙරිකන් හමුදා නියමුවන් නොමැති ඩ්‍රෝන යානා යොදා ගනිමින් එම ප්‍රහාරය එල්ල කළේ පසුගිය අගෝස්තු 29 වැනිදාය. ඇමෙරිකානු හමුදාවට අනුව ඔවුන් ප්‍රහාරය එල්ල කළේ ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක 'අයි.එස්.කේ.' ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමිනි. කෙසේ නමුත් එම ප්‍රහාරයෙන් ඇෆ්ගන් සිවිල් වැසියෝ 10 දෙනෙක් ද ජීවිතක්ෂයට පත් වූහ. ප්‍රහාරය එල්ල කෙරුණේ කාබුල් අගනුවර අයි.එස්.කේ ත්‍රස්තවාදීන්ගේ තිප්පොලක් හඳුනා ගනිමින් යැයි එම අවස්ථාවේදී ඇමෙරිකන් හමුදාව පැවැසීය.

ඇමෙරිකන් හමුදාව මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළේ කාබුල් අගනුවර ගුවන්තොටුපොළට 'අයි.එස්.කේ.' ත්‍රස්තවාදීන් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අනතුරුවය. එම බෝම්බ ප්‍රහාරයෙන් ඇෆ්ගන් තලේබාන් පාලනයෙන් බේරී පලා යෑමට තැත් කළ ඇෆ්ගන් සිවිල් වැසියන්, බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකන් සොල්දාදුවෝ ජීවිතක්ෂයට පත්වූහ.

(රොයිටර්)


RECOMMEND POSTS