බ්‍රිතාන්‍ය මන්ත්‍රී ඝාතනය



බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කළ ශ්‍රීමත් ඩේවිඩ් එමෙස් ඝාතනය, ත්‍රස්ත ක්‍රියාවක් යැයි බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ පවසයි.

69 හැවිරිදි ශ්‍රීමත් ඩේවිඩ් එමෙස් පාලක 'කොන්සවර්ටිව්' පක්ෂයේ කාගේත් ආදරයත් ගෞරවයත් දිනූ තැනැත්තෙකි. පසුගිය සිකුරාදා (15) සිය ආසනය වන වන දකුණු එසෙස් පළාතේ ලී-ඔන්-සී බෙල්ෆෙයාර්ස් මෙතෝදිස්ත දේවස්ථානයට ගොස් එම පළාතේ වැසියන් සමඟ සුහඳ සාකච්ඡාවක යෙදී සිටිද්දී, හිටිහැටියේ දේවස්ථානයකට කඩා වැදුණු මුස්ලිම් සම්භවයක් ඇති තරුණයකු ඩේවිඩ් එමෙස්ට පිහි ප්‍රහාරයක් එල්ල කළේය.

මන්ත්‍රීවරයාට පහර දුන්නේ 25 හැවිරිදි තරුණයකු බව පැවැසෙයි. පොලිසිය ඔහු ජීවග්‍රහයෙන් අල්ලා ගත් අතර, ඔහු සෝමාලියානු ජාතිකයකු බව පැවැසෙයි. පිහි ප්‍රහාර කීපයක්, ඩේවිඩ් එමෙස් ට එල්ල වී තිබුණු බැවින්, රෝහලට ගෙන යෑමටත් පෙර ඔහු මියගිය බවත් බ්‍රිතාන්‍ය පුවත් සේවා පවසා තිබේ. බ්‍රිතාන්‍ය ත්‍රස්ත මර්දන ඒකකයේ පරීක්ෂකවරුන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.
ශ්‍රීමත් ඩේවිඩ් එමෙස් සෑම මසකම පළමු සහ තෙවැනි සිකුරාදා දිනවල බෙල්ෆෙයාර්ස් දේවස්ථානයට ගොස් ඔහුගේ පාක්ෂිකයන් සහ එම පළාතේ වැසියන් සමඟ සුහඳව සාකච්ඡා කරමින්, ඔවුන්ගේ ගැටලු විමසන බව පැවැසෙයි.

තම රාජකාරි අකුරට ඉටු කළ ජනතා ආදරයට පාත්‍ර වූ දේශපාලනඥයකු ලෙස ඩේවිඩ් එමෙස් සැලකිය හැකි යැයි ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් ශෝක පණිවුඩයක් නිකුත් කිරිමට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කටයුතු කළේය. ප්‍රහාරයට සම්බන්ධ කිසිවකුට කිසිදු සමාවක් නොදෙන බවත්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පවසා තිබේ.

ශ්‍රීමත් ඩේවිඩ් එමෙස් මහජන සේවයට කැපවුණු තැනැත්තකු පමණක් නොව තමන්ගේ හොඳ මිතුරකු බව ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙන්ම කොන්සවර්ටිව් පක්ෂයේ නායකයා ද වන බොරිස් ජොන්සන් වැඩි දුරටත් පවසා තිබේ. ශ්‍රීමත් ඩේවිඩ් එමේස් පස් දරු පියෙකි.

(බීබීසී)

 


RECOMMEND POSTS