ඉන්දීය හමුදා සහාය ගන්නවා



අනාගතයේ දිනක තලේබන් සංවිධානය සමඟ ඇති කරගත් සාම වැඩපිළිවෙළ බිඳ වැටුණොත්, තලේබාන් ත්‍රස්තවාදීන්ගේ තර්ජනවලට මුහුණ දීමට ඉන්දීය රජයේත් හමුදවේත් සහාය අපේක්ෂා කරන බව ඇෆ්ගන් රජය පවසයි.

මේ වනවිට ඇෆ්ගන් තලේබාන් සංවිධානය සහ විදෙස් අනුග්‍රහය ලබන ඇෆ්ගන් රජය අතර සාම වැඩපිළිවෙළක් ක්‍රියාත්මකය. එම සාම වැඩපිළිවෙළ සකස් කෙරුණේ ඇමෙරිකාවේ ද මැදිහත්වීමෙනි. එහිදී තලේබාන්වරුන්ගේ ඉල්ලීම වූයේ ඇමෙරිකාව ඇතුළු නේටෝ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් මුළුමනින්ම ඉවත් විය යුතු බවය.

අගෝස්තු 31 වැනිදාට පෙර ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකා හමුදා ඉවත් කර ගැනීමට ජෝ බයිඩන් තීරණය කර ඇත්තේ ඒ අනුවය. මේ වනවිටත් ඇමෙරිකා සහ සෙසු නේටෝ හමුදා සෙබළුන් ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑම ආරම්භ කර තිබේ. මහා බ්‍රිතාන්‍යය ඉකුත් දා කියා සිටියේ ඔවුන් ඔවුන්ගේ හමුදා සෙබළුන් ආපසු ගෙන්වා ගෙන අවසන් බවය.

ඇෆ්ගන් තලේබාන් සංවිධානය දේශපාලනික සහ සන්නද්ධ අංශය වශයෙන් අංශ දෙකකි. ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ සන්නද්ධ අංශය වන අතර, ඇෆ්ගන් රජය සහ ඇමෙරිකාව සමඟ සාම වැඩපිළිවෙළට එකඟත්වය පළ කර ඇත්තේ තලේබාන් දේශපාලනික අංශයයි.
ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වෙද්දී, තලේබාන් සන්නද්ධ අංශයට සම්බන්ධ ත්‍රස්ත කල්ලි මේ වනවිට ඇෆ්ගනිස්තානයෙන් සියයට 80 කට වැඩි ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම ත්‍රස්ත කල්ලි අල් කයිඩා සංවිධානය සමඟත්, අයි.එස්.අයි.එස්. සංවිධානය සමඟත් සබඳතා පවත්වන බව ජගත් බුද්ධි අංශ අනාවරණය කර ඇත.

'විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑම ආරම්භ කර තිබෙනවා. තලේබාන් සංවිධානය සමඟ සාම වැඩපිළිවෙළ ද මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඉදිරියේ දී යම් දිනෙක එම සාම වැඩපිළිවෙළ බිඳ වැටුණොත් ඇෆ්ගන් රජයට සහාය ඉල්ලන්න වෙන්නේ අසල්වැසි ඉන්දියාවෙන්.' යැයි ඉන්දියාවේ ඇෆ්ගන් තානාපති ෆරීද් මමුන්ඩ්සි ඉන්දියාවේ එන්.ඩී.ටීවී. පුවත් නාළිකාව සමඟ අදහස් දක්වමින් පවසා තිබේ.

ඇෆ්ගන් රජය කර ඇති මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඉන්දීය රජය පවසා ඇත්තේ, අසල්වැසි ඇෆ්ගනිස්තානයට සහාය ලබා දීමට තමන් සූදානම් බවය. කෙසේ නමුත්, ඉන්දීය හමුදා ඇෆ්ගනිස්තානයට යන්නේ නම්, එසේ යන්නේ තලේබාන් ත්‍රස්තයන් සමඟ යුද්ධ කිරීමට නොව, ඇෆ්ගන් හමුදාවටත් පොලිසියටත් සහාය දක්වන උපදේශකයන් ලෙස පමණක් කියාය.

මේ අතර තලේබාන් සංවිධානය පවසා ඇත්තේ, ඔවුන් ඇෆ්ගන් රජයේ හමුදා සමඟ ගැටුම් ඇති කර ගැනීමෙන් වැළැකී සිටින බවය. එසේ වුවත් ඇෆ්ගන් සිවිල් වැසියන් බිය පළ කරනුයේ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් ගිය පසු තලේබාන්වරුන් ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කරනු ඇති බවටය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS