එන්නත් මිශ්‍ර කිරීම දිගටම කරනවා



එන්නත් මිශ්‍ර කිරීම සහ සංසන්දනය කිරීම භයානක ප්‍රවණතාවක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් දා (12) ප්‍රකාශ කළ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් කැනඩාව අද (14) කියා සිටියේ තමන් එන්නත් මිශ්‍ර කිරීමේ කටයුතු දිගටම කරගෙන යන බවය.

කැනඩාවේ ඔන්ටේරියෝ පළාතේ සෞඛ්‍ය අමාත්‍ය ක්‍රිස්ටීන් එලියට්ගේ සන්නිවේදන අධ්‍යක්ෂ කාර්ලි ලුයිස් නිවේදනයක් නිකුත් කරමින් සඳුදා ඒ සඳහන් කළාය.

ඔන්ටේරියෝ පළාත කැනඩාවේ ප්‍රතිශක්තීකරණය පිළිබඳ ජාතික උපදේශන කමිටුවේ උපදෙස් දිගටම පිළිපදින බවත් ඇය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය, සහ ජර්මනියේ කෙරුණු අධ්‍යයන පදනම් කරගනිමින් එන්නත් මිශ්‍ර කිරීමට එම කමිටුව නිර්දේශ කර ඇතැයි ද ඒ අනුව එම කමිටුවේ අදාළ උපදෙස් දිගටම පිළිපදින බවත් එහි දැක්විණි.

ඉහත සඳහන් කළ රටවල අධ්‍යයනවලින් එන්නත් මාත්‍රා මිශ්‍ර කිරීම ආරක්ෂිත බවත් එමඟින් ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් දක්වන බවත් කාර්ලි ලුයිස් සඳහන් කළාය.

තනි තනි පුද්ගලයන් තමන් එන්නත් මිශ්‍ර කර ලබාගන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය නොකළ යුතු බවත් එය තීරණය කළ යුත්තේ ඒ ඒ රටවල මහජන සෞඛ්‍ය බලධාරීන් බවත් සිය ප්‍රකාශයෙන් අනතුරුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් සඳහන් කළාය.

“එන්නත් මිශ්‍ර කරනවාද නැද්ද කියා තනි තනි පුද්ගලයන් තීරණය නොකළ යුතු යි. දැනට තිබෙන දත්ත පදනම් කරගනිමින් එ් ඒ රටවල මහජන සෞඛ්‍ය ආයතනවලට/කාර්යාංශවලට එය කළ හැකියි. විවිධ වර්ගවල එන්නත් මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනවල දත්ත ප්‍රතිඵල තවම ලැබී නැහැ. අපි ඒවා බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒවායේ ප්‍රතිශක්තිකරණ හැකියාව සහ ආරක්ෂාව යන දෙකම සම්බන්ධයෙන් ඇගයීම් කළ යුතු” යැයි සෞම්‍යා ස්වාමිනාදන් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි.

කෙසේ නමුත් එන්නත් මිශ්‍ර කිරීමෙන් වැඩි ආරක්ෂාවක් ලබාදෙන බවට හෝ ආරක්ෂාවේ අඩු වීමක් සිදුවන බව විශ්වාස කිරීමට කිසිදු හේතුවක් නැතැයි කැනඩාවේ ඔන්ටේරියෝ පළාත් ආණ්ඩුව ඉකුත් ජූනි මාසයේ සෞඛ්‍ය සේවකයන්ට නිකුත් කළ ලියවිල්ලක සඳහන්ව ඇත.

(සී.ටීවී.නිව්ස් සහ රොයිටර් ඇසුරිනි)


RECOMMEND POSTS